Tuesday, September 23, 2008

සිවිල් හා දේශාපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුතිය හා සම්බන්ධ වෛකල්පිත ගිවිසුම
වත්මන් ගිවිසුමෙහි රාජ්‍ය පාර්ශවකරුවෝ, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතියේ (මින්මතු සම්මුතිය යනුවෙන් හඳුන්වනු ලබන) පරමාර්ථයන් තවදුරටත් සාක්ෂාත් කරගැනීම සඳහාත් එහි විධිවිධාත කි‍්‍රයාත්මක කරනු සඳහාත් සම්මුතියේ IV වන කොටසේ දක්වා ඇති මානව අයිතිවාසිකම් පිළිබද කමිටුව (මින්මතු කමිටුව යනුවෙන් හඳුන්වනු ලබන) මගින් වත්මන් සංවිධානයේ විධිවිධාන සලසා ඇති පරිදි, සම්මුතියේ දැක්වෙන අයිතිවාසිකම් වලින් කිසිවක් උල්ලඝනය කිරීම් වලට භාජනය වු පුද්ගලයන් යයි කියනු ලබන තැනැත්තන්ගෙන් ලැබෙන ලියකියවිලි භාරගැනීම හා සලකා බැලීම උචිත යයි සැලකිල්ලට ගෙන, මෙහි පහත සඳහන් පරිදි එකඟත්වය පළ කරති.

1 වන වගන්තිය
සම්මුතියේ දැක්වෙන අයිතිවාසිකම් කිසිවක් උල්ලංඝනය කිරීම් වලට භාඡනය වු පුද්ගලයින් යයි යම් රාජ්‍ය පාර්ශවයක් විසින් කියනු ලබන තැනැත්තන්ගෙන් ලැබෙන ලියකියවිලි තම බල සීමාවට යටත්ව භාර ගැන්මට හා සලකා බැලීමට කමිටු සතු අධිකාරි බලය, වත්මන් සංධානයට අයත් එකි රාජ්‍ය පාර්ශවකරු විසින් පිළිගනු ලැබේ. වත්මන් සංධානයට අයත් කොටස්කරුවකු නොවන සම්මුතියට අයත් රාජ්‍ය පාර්ශවකරුවකු සම්බන්ධයෙන් වු කිසිදු ලියවිල්ලක් කමිටුව විසින් භාර නොගත යුතුය.

2 වන වගන්තිය
සම්මුතියේ දැක්වෙන තම අයිතිවාසිකම් කිසිවක් උල්ලංඝනය කර ඇති බව කියාපාන, එසේම දේශිය ප‍්‍රතිකර්ම සියල්ලම යොදා අවසන් පුද්ගලයන් විසින්, 1 වැනි වගන්තියේ විධිවිධානයන්ට යටත්ව, කමිටුවේ සැලකිල්ල සඳහා ලිඛිත සංදේශයක් ඉදිරිපත් කළ හැකිය.

3 වන වගන්තිය
නිර්නාමිකව ඉදිරිපත් කෙරුනු අවස්ථාවකදී හෝ ලියවිලි ඉදිරිපත් කිරීමේ අයිතිවාසිකම් අනිසි ලෙස පාවිච්චි කරමින් හෝ සම්මුතියේ විධිවිධානයන්ට පටහැනිව හෝ යම් ලියවිල්ලක් ඉදිරිපත් කෙරුනු විට, වත්මන් සංධානය යටතේ, එය අනවශ්‍ය ලෙස කමිටුව විසින් සැලකිය යුතුය.

4 වන වගන්තිය
1.වත්මන් සංධානය යටතේ කමිටුව වෙත ඉදිරිපත් කරනු ලබන ලියකියවිලි වෙතොත් ඒවා කමිටුව විසින් 3 වන වගන්තියේ විධිවිධානයන්ට යටත්ව, සම්මුතියේ කිසියම් විධිවිධානයක් උල්ලංඝනය කරන්නේ යයි කියන වත්මන් සංධානයට අයත් රාජය පාර්ශවකරුගේ අවධානය වෙත යොමු කරනු ලැබිය යුතුය.

2 එසේ යොමු කරනු ලැබු රාජ්‍යය විසින් සමසක් ඇතුළත ලිඛිතව කරුණු පැහැදිළි කිරීමක් හෝ ප‍්‍රස්තුත කාරණය පැහැදිලි කර ප‍්‍රකාශයක් හෝ නැතහොත් එකී රා‍ජ්‍ය විසින් ගනු ලැබු ප‍්‍රතිකර්මයක් වෙතොත් එය හෝ කමිටුව වෙත ඉදිරිපත් කළ යුතුය.

5 වන වගන්තිය
1.අදාළ පුද්ගලයා සහ රාජ්‍ය පාර්ශවය විසින් කමිටුව වෙත ලැබෙන්නට සැලසු තොරතුරු සියල්ලක්ම සැලකිල්ලට ගෙන වත්මන් සංධානය යටතේ ලැබුණු ලියකියවිලි කමිටුව විසින් සලකා බැලිය යුතුය.

2.කමිටුව විසින් පහත දැක්වෙන කරුණු නිශ්චය කොට මිස පුද්ගලයෙකුගෙන් ලැබෙන කිසිදු ලියවිල්ලක් සැලකිල්ලට නොගත යුතුය.(අ) වෙනත් ජාත්‍යන්තර විමර්ශන හෝ නිරවුල් කිරිමේ කාර්ය පටිපාටියක් මගින් එම කාරණය පරීක්ෂාවට භාජන වෙමින් නොපවතින බව,(ආ)පුද්ගලයා විසින් ගතහැකි දේශිය ප‍්‍රතිකර්ම සියල්ලක්ම යොදා අවසන් බව. ප‍්‍රතිකර්ම යෙදීම අසාධාරණ අන්දමින් කල් ගෙන ඇති අවස්ථාවන්හිදී මෙම රීතිය අදාළ නොවේ.

3.වත්මන් ගිවිසුම යටතේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී කමිටුව විසින් සංධාන රැස්වීම් පැවැත්විය යුතුය.

4. කමිටුව විසින් තම අදහස් අදාළ රාජ්‍ය පාර්ශවකරුට සහ පුද්ගලයාට දැනුම් දිය යුතුය.

6 වන වගන්තිය
වත්මන් ගිවිසුම යටතේ කමිටුවේ වැඩ කටයුතු පිළිබද සම්පිණ්ඩනයක් කමිටුව විසින් සම්මුතියේ 45 වැනි වගන්තියට අනුව වාර්ෂික වාර්තාවෙහි ඇතුළත් කළ යුතුය.

7වන වගන්තිය
යටත්විජිතයන්ට හා ජාතීන්ට නිදහස ප‍්‍රදානය කිරීම පිළිබඳ ප‍්‍රකාශනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1960 දෙසැම්බර් 14වන දින සම්මත කරගනු ලැබූ අංක,1514(xv) දරන යෝජනාවේ අරමුණු ඉටුකර ගැනීමට යටත්ව, එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය සහ එත්සත් ජාතීන්ගේ සහ එහි විශේෂිත ආයතන යටතේ ඇති වෙනත් අන්තර්ජාතික සම්මුති හා වෙනත් නීත්‍යානුකූල ලේඛන මගින් එකී ජාතීන්ට දී ඇති පෙත්සම් ඉදිරිපත් කිරීමේ අයිතිය වත්මන් ගිවිසුමේ විධිවිධාන මගින් කිසි ලෙසකිනුදු සීමා නොකළ යුතුය.

8 වන වගන්තිය
1.සම්මුතියට අත්සන් තැබු ඕනෑම රා‍ජ්‍යයක් විසින් අත්සන් තැබීම සඳහා වත්මන් ගිවිසුම විවෘතව ඇත.
2.සම්මුතියට ස්ථිර කළ හෝ ඊට ඇතුළත් ඕනෑම රා‍ජ්‍යයක් විසින් වත්මන් සංධානය ස්ථිර කිරීමට යටත්ව පවතී. ස්ථර කිරීම පිළිබඳ නීත්‍යානුකූල ලේඛන එක්සත් ජාතීන්ගේ මහාලේකම් වෙත ඉදිරිපත් කල යුතුය.
3 සම්මුතිය ස්ථිර කල හෝ ඊට ඇතුළත් කළයුතු වූ ඕනෑම රාජ්‍යකට වත්මන් සංධානයට ඇතුලත්වීමට හැකිවනු සඳහා විවෘතව තැබිය යුතුය.
4එක්සත ජාතීන්ගේ මහ ලේකම් වෙත ඇතුලත්වීමේ නීත්‍යානුකූල ලේඛනයක් ඉදිරිපත් කිරීමෙන් වත්මන් සංධානයට ඇතුලත්වීම කි‍්‍රයාත්මක කල යුතුය.5වත්මන් සංධානයට අත්සන් තැබූ හෝ ඊට ඇතුළත් වූ රාජ්‍යන් සියල්ලට එක්සත් ජාතින්ගේ මහ ලේකම් විසින් ස්ථිර කිරීමේ හෝ ඇතුලත්වීමේ එක එක් නීත්‍යානුකූල ලේඛන පිළිබඳ දැනුම්දිය යුතුය.

9 වන වගන්තිය
1. සම්මුතිම බලාත්මක කිරීමට යටත්ව, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වෙත ස්ථිර කිරීම පිළිබඳ හෝ ඇතුළත්විම පිළිබඳ හෝ දසවන නීත්‍යානුකූල ලේඛනය තැන්පත් කල දින සිට තෙමසක කාලය ඇවෑමෙන් වත්මන් සංධානය බලාත්මක විය යුතුය.
2.ස්ථිර කිරීමේ හෝ ඇතුළත් වීමේ දසවැනි නීත්‍යානුකූල ලේඛනය ඉදිරිපත් කිරීමෙන් පසු වත්මන් සංධානය ස්ථිර කරන්නාවු හෝ ඊට ඇතුළත් වන්නාවු රාජ්‍යයන් සම්බන්ධයෙන් එකී එක් එක් රාජ්‍ය විසින් සිය ස්ථිර කිරීමේ හෝ ඇතුළත්වීමේ නීත්‍යානුකූල ලේඛනය ඉදිරිපත් කර තෙමසක කාලය ඇවෑමෙන් වත්මන් සංධානය බලාත්මක විය යුතුය.

10 වගන්තිය
වත්මන් සංධානයේ විධිවිධාන කිසිදු සීමා කිරීමක් හෝ ව්‍යතිරේකයක් හෝ නොමැතිව ඒකාබද්ධ රාජ්‍යයන්හි සියලූම ප‍්‍රදේශවලට බලපාන්නේය.

11 වගන්තිය
1.මෙම සංධානයට අයත් කවර රාජ්‍ය පාර්ශවකරුවකු විසින් හෝ සංශෝධන යෝජනා කොට එක්සත් ජාතීන්ගේ මහලේකම් වෙත ඉදිරිපත් කළ හැකිය. එවිට මහලේකම් එම යෝජනා සලකා බලා ඒ ගැන ඡන්ද විමසනු සඳහා රාජ්‍ය පාර්ශවකරුවන්ගේ සම්මේලනයක් පැවැත්වීම අවශ්‍ය ලෙස සලකන්නේ දැයි තමාට දන්වන ලෙස ඉල්ලූම් කොට ඒ සමඟ මේ සංධානයට අයත් රාජ්‍ය පාර්ශව කරුවන් වෙත එම යෝජිත සංශෝධන බෙදා හැරිය යුතුය. රාජ්‍ය පාර්ශව කරුවන්ගෙන් යටත් පිරිසෙන් තුනෙන් එකක් වන කොටසක් එබඳු සම්මේලනයක් පැවැත්වීම අවශ්‍ය ලෙස සලකන්නේ නම්, මහ ලේකම් විසින් එක්සත් ජාතීන්ගේ අනුග‍්‍රහය යටතේ සම්මේලනයක් කැඳවිය යුතුය. එම සම්මේලනයට පැමිණ ඡන්දය දෙන රාජ්‍ය පාර්ශවකරුවන් අතරින් වැඩි සංඛ්‍යාවක් විසින් පිළිගනු ලබන කවර හෝ සංශෝධනයක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතුය.

12 වන වගන්තිය
1.කිසියම් රා‍ජ්‍ය පාර්ශවකරුවකු විසින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වෙත කරනු ලබන ලිඛිත දැනුම් දීමකින් ඕනෑම අවස්ථාවක වත්මන් ගිවිසුම හෙලා දැකිය හැකිය.එසේ කරනු ලබන දැනුම් දීම මහලේකම්වරයා හට ලැබුණු දින සිට තෙමසක ඇවෑමෙන් එහි හෙලා දැකීම් ක‍්‍රියාත්මක විය යුතුය.

2.හෙලා දැකීම ක‍්‍රියාත්මක වන දිනයට පෙර 2 වන වගන්තිය යටතේ ඉදිරිපත් කළ ලියවිලි කිසිවක් සම්බන්ධයෙන් එම ගිවිසුමෙහි විධිවිධාන නොකඩවා පවත්වාගෙන යාමට බාධාවක් නොවන අයුරින් හෙලා දැකීම කළ යුතුය.

13 වන වගන්තිය
වත්මන් සංධානයේ 8 වැනි වගන්තියේ 5 වන ඡේදය යටතේ කර ඇති දැනුම්දීම් ද නොතකා එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින් සම්මුතියේ 48 වන වගන්තියේ 1 වන ඡේදයේ සඳහන් සියලූම රාජ්‍යයන්ට පහත සඳහන් විස්තර දැනුම් දිය යුතු වන්නේය.
(අ) 8 වන වගන්තිය යටතේ වන අත්සන් කිරීම් ස්ථිර කිරීම් හා ඇතුළත් කිරිම්
(ආ) 9 වන වගන්තිය යටතේ වත්මන් සංධාන බලාත්මක වන දිනය සහ 11 වන වගන්තිය යටතේ කිසියම් සංශෝධනයක් බලාත්මක වන දිනය,
(ඇ) 12 වන වගන්තිය යටතේ වන හෙලා දැකීම්

14 වන වගන්තිය
1.චීන, ඉංග‍්‍රිසි, ප‍්‍රංශ, රුසියන් හා ස්පාඤ්ඤ භාෂා වලින් යුත් එකසේ නිවැරදි මෙම සංධානයේ පිටපත් එක්සත් ජාතීන්ගේ ලේඛනාගාරයේ තැන්පත් කළ යුතුය.

2.එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් සම්මුතියේ 48 වන වගන්තියේ සඳහන් සියලූම රාජ්‍යන්ට වත්මන් සංධානයේ සහතික පිටපත් යැවිය යුතුය.

No comments: