Friday, October 3, 2008

අන්තර්ජාතික මානව අයිතිවාසිකම් පනත

මානව අයිතිවාසිකම් සුරැකීම අර්ථ නිරූපණය කරනු සහ සහතික කරනු පිණිස එක්සත් ජාතීන් විසින් සම්පාදිත ප‍්‍රධාන නෛතික ලේඛන 05ක් පවති. මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය (1948), ආර්ථික සමාජයීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (1966), සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (1966) සහ පසුව කී සම්මුතියට අදාළ වෛකල්පිත ගිවිසුම් දෙක යනුවෙනි. මානව හිමිකම් ප‍්‍රකාශනය මුලික වශයෙන් සදාචාරමය අධිකාරියක් සහිත සංග‍්‍රහයකි. සම්මුතීන් ද්වය ඒවා සපථ කර ඇති රාජ්‍යයන් වගකීමෙන් බැඳ තබන ගිවිසුම් වෙති. මේ ලේඛන සියල්ල එක් වු විට අන්තර්ජාතික මානව අයිතිවාසිකම් පනත නමින් ප‍්‍රකට ලේඛනය නිර්මාණය වෙයි.

මානව අයිතිවාසිකම් පිළිබඳව අන්තර්ජාතික පනතක් සම්පානදය කිරීම මුලසිටම එක්සත් ජාතීන්ගේ අවධානය යොමු වු ප‍්‍රධාන අවශ්‍යතාවයක් විය. 1645 සැන් ෆ‍්‍රැන්සිස්කෝ නුවරදී ගිවිසගත් එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය විවිධ වගන්ති 07කින් මානව අයිතිවාසිකම් අරභයා එක්සත් ජාතීන්ගෙ අනුබලය ප‍්‍රකාශ කළ අතර මානව අයිතිවාසිකම් කොමිසමක් ස්ථාපනය කළේය. මහා මණ්ඩලය 1946 ජනවාරියේදී ප‍්‍රථම වරට රැස්වු විට මානව අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික පනතක් සංග‍්‍රහ කිරීමට පියවර ගන්නැයි කොමිසමෙන් ඉල්ලා සිටියේය. මානව අයිතිවාසිකම් කොමිසම 1947 පෙබරවාරි මාසයේදී වැඩ ආරම්භ කළවිට මෙය ප‍්‍රමුඛතම විෂයය විය.

පනත ප‍්‍රකාශනයක නැතහොත් ගිවිසුමක ස්වරූපය ගතයුතු ද යන්න ගැන කොමිසමේ සමාජිකයන් අතර ඒ වහාම වාදයක් හට ගත්තේය. පනත කොටස් තුනකින් සමන්විත විය යුතු යැයි ඔවුහු පොදු එකඟත්වයකට පැමිණියහ. එනම් පොදු මුලධර්ම අන්තර්ගත ප‍්‍රකාශනයක්, සපථ කිරීමෙන් පසු රාජ්‍යයන් විසින් ඉටු කිරීමට බැඳී සිටින ආකාරයේ මෙකී මුලධර්ම සංග‍්‍රහ කොට දක්වන සම්මුතියක් හෝ සම්මුතීන් සහ ක‍්‍රියාත්මක කිරීමේ මාර්ග නැතහොත් රාජ්‍යයන් සම්මුතීන් මඟින් තමන් බැඳී සිටින වගකීම් ඉටු කරන ආකාරය සමාලෝචනය කැරෙන විධිවිධාන වශයෙනි. කොමිසම වසර 2කට අඩු කාලයක් තුළ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ සම්පුර්ණ කෙටුම්පතක් සිය උත්තර මණ්ඩලය වන ආර්ථික සහ සාමාජයීය මණ්ඩලය සහ මහා මණ්ඩලය වෙත යැවීය. මහා මණ්ඩලය 1948 දෙසැම්බර් 10 දා මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය සම්මත කළේය. කිසිවෙක් විරුද්ධ නොවු අතර 48 දෙනෙක් පක්ෂව ඡන්දය දුන්හ. 08 දෙනෙක් වැළකී සිටියහ.

ප‍්‍රකාශනයට නෛතික බලය හිමිවන ගිවිසුමක් කෙටුම්පත් කිරීමට අඛණ්ඩ ප‍්‍රමුඛත්වය දෙන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටින යෝජනාවක් මහා මණ්ඩලය විසින් එදිනම සම්මත කරනු ලැබීය. 1951 දී සම්මුති කෙටුම්පතක් සම්පාදනය කළ කොමිසම එය සිය මව් ආයතනය වන ආර්ථික හා සමාජ මණ්ඩලය වෙත යැවීය. එකිනෙකට වෙනස් දෙවර්ගයක අයිතිවාසිකම් එක් සම්මුතියක් තුළ සංග‍්‍රහ කිරීමේ දුෂ්කරතා වටහා ගත් මණ්ඩලය සම්මුතීන් දෙකක් කෙටුම්පත් කිරීම අනුමත කරන්නැයි මහා මණ්ඩලය පෙළඹවීය. ඊට එකඟ වු මහා මණ්ඩලය අදාළ කාර්යය ඉදිරියට ගෙනයන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටියේය. කොමිසම ඊට අවනතව එකක් ආර්ථික සමාජයීය සහ සංස්කෘතික අයිතිවාසිකම් සඳහාද අනෙක සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සඳහාද වශයෙන් සම්පාදනය කළේය. දෙවැන්න සමඟ වෛකල්පිත ගිවිසුමක් හා සම්මුති විධිවිධාන ක‍්‍රියාවට නැංවීම සමාලෝචනය කැරෙන මාර්ගද ඉදිරිපත් කෙරිණි. මේ ලේඛන පත‍්‍රය 1966 දෙසැම්බර් 16 වැනිදා මහා මණ්ඩලය විසින් ඒකච්ඡන්දයෙන් සම්මත කරන ලදුව අත්සන් තැබීම සඳහා සාමාජික රාජ්‍යයන් හමුවේ තැබිණි. එකී ලේඛන එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් 35ක් විසින් සපථ කිරීමෙන් පසු 1976 දී වලංගුභාවයට පැමිණියේය.

මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ අරමුණ ඇතිව, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ දෙවැනි වෛකල්පිත ගිවිසුම 1989 දෙසැම්බර් 15දා මහා මණ්ඩලය විසින් සම්මත කොට ගන්නා ලදි. ඊට පක්ෂව ඡන්ද 56ක්ද විපක්ෂව 26ක්ද ලැබිණී. සාමාජිකයෝ 48 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. දෙවැනි වෛකල්පිත ගිවිසුම 1991 ජුලි මාසයේදී වලංගුභාවයට පැමිණියේය.

මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය මිනිස් පවුලේ සියලූ සාමාජිකයන් සතු පරම හා අනුල්ලංඝනීය අයිතිවාසිකම් පිළිබඳ මුලික අන්තර්ජාතික නිවේදනයයි. ප‍්‍රකාශනය , එහි අන්තර්ගත අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස විශ්වමය හා ඵලදායී පිළිගැනීමට හා පිළිපැදීමට පත් කිරීමේ ප‍්‍රයත්නයේදී සියලූ ජනතාවන්ට හා සියලූ ජාතීන්ට අදාළ පොදු ප‍්‍රගති මාපකය ලෙස සලකනු ලැබේ.

මානව අයිතිවාසිකම් හා සම්බන්ධ සම්මුතීන් ද්වය සුවිශේෂ අයිතිවාසිකම් හා නිදහස සඳහා අභ්‍යන්තර රැකවරණය සලසයි. සම්මුති දෙකම ස්වයං තීරණය සඳහා ජනතාවන්ට ඇති අයිතිය පිළිගනී. මානව අයිතිවාසිකම් භාවිතයේදී සෑම ආකාරයකම වෙනස්කම් පිටුදකින වගන්ති ඒ දෙකේහිම අඩංගු වෙයි. සම්මුති දෙකම ඒවා පිළිගත් රටවල් අරභයා නීතිමය බලයක් පතුරුවයි.

පළමු ගිවිසුම එනම් ආර්ථික සමාජයීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය වැඩ කිරීමට සහ නිදහසේ රැකියාවක් තෝරා ගැනීමට, සාධාරණ වැටුප් ලැබීමට, සංගම් පිහිටුවීමට ඒවාට සම්බන්ධවීමට සාමාජයීය ආරක්ෂාව හා සිය ජනතාවන් සඳහා ප‍්‍රමාණවත් ජීවන මට්ටමක් අත්කර ගැනීමට ඇති අයිතිය පිළිගනී. මේ අයිතිවාසිකම් ප‍්‍රවර්ධනයෙහිලා අත්කර ගන්නා ප‍්‍රගතිය පිළිබඳ රාජ්‍යයන්ගෙන් ලැබෙන වාර්තා ආර්ථික හා සමාජ මණ්ඩලය විසින් පත්කර ඇති විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් සමාලෝචනය කෙරෙයි.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ජීවත්වීමට, පෞද්ගලික නිදහසට හා ආරක්ෂාවට, පෞද්ගලිකභාවය රැක ගැනීමට, කුරිරු අමානුෂික හෝ අවමන් සහගත සැලකිලිවලින් සහ වධහිංසාවන්ගෙන් මිදී සිටීමට , වහල්භාවයෙන් මිදී සිටීමට හිතුවක්කාර අත් අඩංගුවට ගැනීම්වලින් මිදී සිටීමට, සාධාරණ නඩු විභාගයකට, නීතිය හමුවේ පුද්ගලයෙකු ලෙස පිළිගනු ලැබීමට, අතීතයට බලපාන අයුරින් පනවන දඬුවම්වලින් මිදී සිටීමට, සිතීමේ විශ්වාස කිරීමේ සහ ආගම් ඇදහීමේ නිදහසට, මත දැරීමේ සහ ප‍්‍රකාශ කිරීමේ නිදහසට, සංක‍්‍රමණය ඇතුළු ගමන් බිමන් කිරීමේ නිදහසට, සාමකාමී ලෙස රැස්වීමට සහ සංවිධානවීමේ නිදහසට සෑම මනුෂ්‍යයකුටම ඇති අයිතිය පිළිගනී.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය එය සපථ කරඇති රාජ්‍යයන් වෙතින් ලැබෙන ප‍්‍රගති වර්තාව සලකා බැලීම පිණිස මානව අයිතිවාසිකම් කමිටුවක් ස්ථාපනය කර ඇත. සම්මුතිය සපථ කර ඇති වෙනත් රාජ්‍යයන් සම්මුතියෙන් ඔවුන් බැඳී සිටින වගකීම් ඉටු කිරීමට අපොහොසත්ව ඇති බවට යම් රාජ්‍යයක් විසින් කරනු ලබන පැමිණීලි ද විභාග කිරීමට කමිටුවට පිළිවන.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිවලට අදාළ වෛකල්පිත ගිවිසුමේ පාර්ශ්වකාර රාජ්‍යයන් විසින් කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ඇතැම් තත්ත්වයන් යටතේ කමිටුව වෙත පැමිණිලි කිරීමට පුද්ගලයන්ටද ඉඩ ලැබේ.

සිවිල් සහ දේශපාලන සම්මුතියට අදාළ දෙවැනි වෛකල්පිත ගිවිසුම අනුව මරණීය දණ්ඩනය අහෝසි කිරීම සඳහා රාජ්‍යයන් විසින් අවශ්‍ය සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගතයුතු වෙයි.

මානව අයිකිවාසිකම් ආරක්ෂා කිරීමේලා තමන් අත් කර ගන්නා ප‍්‍රගතිය මැන බැලීම පිණිස ආණ්ඩුවලට මානව හිමිකම් ප‍්‍රකාශනය මාපකයක් ලෙස භාවිතා කළහැකි බව සියලූදෙනා විසින්ම පාහේ පිළිගැනේ. එක්සත් ජාතීන්ගේ ආයතනවල මානව හිමිකම් ප‍්‍රකාශනයේ අධිකාරය දෙවැනි වන්නේ ප‍්‍රඥප්තියට පමණි. එය මහා මණ්ඩලයේදී පමණක් නොව ආරක්ෂක මණ්ඩලයේදී සහ අනෙක් ආයතනවලදීත් නිරතුරුවම ඉස්මතු කරනු ලැබේ. මානව අයිතිවාසිකම් හා නන් වැදෑරුම් මුලික නිදහස ආරක්ෂා කිරීම සඳහා වන යුරෝපා මණ්ඩල සම්මුතිය (1950), ජපාන සාම ගිවිසුම (1951), ටියස්ටේ‍්‍ර තත්ත්වය පිළිබඳ විශේෂ ආඥ පනත(1954), අප‍්‍රිකානු සමගි සන්ධානයේ ව්‍යවස්ථාව (1963) රාජ්‍යයන් 35ක් විසින් හෙල්සින්කි නුවරදී අත්සන් තබන ලද යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාව පිළිබඳ සමුළුවේ අවසන් ලේඛනය (1975) ඇතුළු අන්තර්ජාතික නෛතික ලේඛනවල ප‍්‍රකාශනය උපුටා දක්වා ඇත. ජාතික ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා ගණනාවක ප‍්‍රකාශනය ගැන සඳහන් කොට තිබේ. බොහෝ රටවල ජාතික අණපනත් සම්පාදනයේදී ඉන් ආභාසය ලබා ඇති අතර ඇතැම්විට එහි කොටස් ඒවායේ ඇතුළත් කර ඇත. බොහෝ ජාතික අධිකරණවලදී මානව හිමිකම් ප‍්‍රකාශනය අනුකූලතාවෙන් යුතුව උපුටා දක්වනු ලැබේ.

No comments: