Thursday, October 2, 2008

මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය

1948 දෙසැම්බර් මස 10 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සම්මත කරන ලදුව ප‍්‍රකාශයට පත්කළ මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප‍්‍රකාශනය මෙහි අන්තර්ගත වේ. මෙම ඓතිහාසික සිද්ධියෙන් පසු මෙම ප‍්‍රකාශනය මෙහි අන්තර්ගත වේ. මෙම ඓතිහාසික සිද්ධියෙන් පසු මෙම ප‍්‍රකාශනයේ අඩංගු වගන්ති ප‍්‍රචාරයට පත් කරන මෙන්ද ඒ ඒ රටවල පවතින දේශපාලන තත්ත්වය පිළිබද වෙනසක් නොකර මෙම ප‍්‍රකාශනය ප‍්‍රධාන වශයෙන් පාසල් හා අධ්‍යාපන ආයතන මගින් පැතිරවිමට, ප‍්‍රදර්ශනය වීමට, පාඨනය කරවීමට හා පැහැදිලි කරවීමට සලස්වන මෙන් ද, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සියලූම සාමාජික රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටින ලද්දේය.


මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප‍්‍රකාශනය පූර්විකාව
ලෝකයේ පවත්නා නිදහස, යුක්තිය සහ සාමය යන්නෙහි පදනම මිනිස් පවුලේ සියලූ දෙනාගේම සහජ ගරුත්වය හා අන්සතු කළ නොහැකි වූ සම අයිතිවාසිකම් පිළිගැනීම වන හෙයින්ද, මානව අයිතිවාසිකම් නොතැකීමේ හා අවඥවට ලක්කිරිමේ ප‍්‍රතිඵලයක් වශයෙන් මිනිස් වර්ගයාගේ හෘද සාක්ෂිය සාහසික පීඩනයට භාජනය කෙරෙන මිලේච්ඡ කෲරකම් සිදු වී ඇති හෙයින් ද, මිනිස් වර්ගයාට අදහස් ප‍්‍රකාශකිරීමේ හා විශ්වාසය ඇදහිලි දැරීමේ නිදහසත්, බියෙන් හා අඟහිගකමින් තොරවිමේ නිදහසත්, භුක්ති විදීමට හැකි ප‍්‍රජාවක් ඇරඹීම පොදු ජනතාවගේ ශ්‍රේෂ්ඨතම අපේක්ෂාව ලෙස ප‍්‍රකාශයට පත්වී ඇති හෙයින්ද,

දුෂ්ඨ පාලනයන්ට හා පරිපීඩනයන්ට විරුද්ධව අන්තිම ක‍්‍රියාමාර්ගයක් වශයෙන් කැරලි කෝලාහල ඇති කිරීමට මිනිසා පෙළඔවීම වැලැක්වීමට නම් නීති මගින් මානව අයිතිවාසිකම් ආරක්ෂා කරදීම අත්‍යාවශ්‍ය වන හෙයින්ද,
ජාතීන් අතර මිත‍්‍ර සම්බන්ධතා තවදුරටත් වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය වන හෙයින්ද,

මූලික අයිතිවාසිකම් කෙරහිත්, මිනිසාගේ ගරුත්වය හා අගය කෙරෙහිත්, ස්ති‍්‍ර‍්‍ර පුරුෂ දෙපක්ෂයේ සමාන අයිතිවාසිකම් කෙරෙහිත් තම විශ්වාසය හා භක්තිය එක්සත් ජාතීන්ගේ සාමාජික ජාතීන් විසින් ප‍්‍රඥප්තියෙහි ස්ථිර ලෙස නැවත පිළිගෙන ඇති හෙයින්ද සමාජ ප‍්‍රගතිය හා වඩා යහපත් ජීවන තත්වයක් වඩා පුළුල් ලෙස වර්ධනය කිරීමට අධිෂ්ඨාන කර ඇති හෙයින්ද,

මානව අයිතිවාසිකම් හා මූලික ස්වාධීනත්වයන් කෙරෙහි විශ්ව ගරුත්වයත් ඒවා රැකදීමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගීත්වය වර්ධනය කිරීමට සාමාජික රාජ්‍ය ප‍්‍රතිඥ දී ඇති හෙයින්ද,

ඒ ප‍්‍රතිඥව පරිපූර්ණව සාක්ෂාත්කර ගැනීම සදහා මෙම අයිතිවාසිකම් හා ස්වාධීනතා පිළිබදව පොදු අවබෝධය ලබා ගැනීම අතිශයින් වැදගත්වන හෙයින්ද,

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මෙසේ ප‍්‍රකාශකොට සිටියි.

මානව අයිතිවාසිකම් පිළිබද මෙම විශ්ව ප‍්‍රකාශනය, සෑම පුද්ගලයෙකු හා සංවිධානයක් විසින් නිරන්තරයෙන්ම සිහිපත් කෙරෙමින් සකල ජනතාවට හා සියලූ ජාතීන්ට සාක්ෂාත් කරගත යුතු පොදු තත්ත්වයක් වශයෙන් අධ්‍යාපනයෙන් සහ අධ්‍යනයෙන් මෙම අයිතිවාසිකම් හා ස්වාධීනත්වයන් ගරු කළ යුතුයයිද, ජාතික වූත්, ජාත්‍යන්තරවූත්, ප‍්‍රගතිශීලී විධිවිධාන මගින් මේ හිම්කම් සාමාජික රටවල මෙන්ම ඒවායේ බලයට අවනත සෙසු රටවල ජනතාව අතරද අගය කිරීමට සැලැස්වීමෙන් ලෝකය මුළුල්ලේම ඒ පිළිබද ගරුත්වය හා කි‍්‍රයාකාරීත්වය සැලසිය යුතු යැයිද ප‍්‍රකාශ කර සිටි.

1 වන වගන්තිය
සියලූ මනුෂ්‍යයෝ නිදහස්ව උපත ලබා ඇත. ගරුත්වයෙන් හා අයිතිවාසිකම් සමාන වෙති. යුක්ති අයුක්ති පිළිබඳ හැඟීමෙන් හා හෘදය සාක්ෂියෙන් යුත් ඔවුනොවුන්වුන්ට සැළකිය යුත්තේ සහෝදරත්වය පිළිබඳ හැඟීමෙනි.

2 වන වගන්තිය
ජාති, වංශ, වර්ණ, ස්තී‍්‍ර පුරුෂ භාවය, භාෂාව, ආගම්, දේශපාලන, ආදී කවර බේදයකින් හෝ සමාජ ජාතික දේපළ උපත ආදී කවර තත්ත්වයක විෂයක් හෝ නොමැතිව මේ ප‍්‍රකාශනයේ සඳහන් සියලූ හිමිකම් හා ස්වාධීනත්වයන් සෑම පුද්ගලයෙකුටම උරුම වන්නේය. තවද යම් පුද්ගලයකු අයත් වන රටේ දේශපාලන, නීතිමය හෝ ජාත්‍යන්තර තත්ත්වයන් පිළිබඳ කිසිදු විශේෂයක් ද ඒ රට ස්වාධීන, භාරකාර, අස්වාධීන ආදී කවර තත්ත්වයක් පිළිබඳ විශේෂයක් ද නොමැතිව මේ හිමිකම් ඔහු සතු වන්නේය.

3 වන වගන්තිය
සෑම පුද්ගලයෙකුටම ජීවත්වීමටත් නිදහස්ව සිතීමටත් පෞද්ගලික ආරක්ෂාවටත් හිමිකමක් ඇත්තේය.

4 වන වගන්තිය
කිසිම පුද්ගලයකු වහල්කමෙහි හෝ බන්ධනයේ (දාස භාවයෙහි) නොරැඳවිය යුතුය. සෑම ආකාරයකම වහල් වෙළඳාම හා වහල්කම තහනම් වන්නේය.

5 වන වගන්තිය
කිසියම් පුද්ගලයකු වද හිංසාවට හෝ කෲර අමානුෂික පහත් සැලකිල්ලට හෝ දඬුවමකට හෝ භාජනය නොකළ යුතුය.

6 වන වගන්තිය
සෑම අවස්ථාවකදීම නීතිය ඉදිරියේ පුද්ගලයකු වශයෙන් පිළිගනු ලැබීමේ අයිතිය සෑම කෙනෙකුම සතුය.

7 වන වගන්තිය
සියල්ලන්ම නීතිය ඉදිරියේ එකිනෙකාට සමාන වන අතර නීතියේ ආරක්ෂාව ලැබීමට කිසිදු විශේෂයක් නොමැතිව සියල්ලෝම හිමිකම් ලැබීමේ ප‍්‍රකාශනයට පටහැනිව කෙරෙන ඕනෑම අසාධාරණයකින් ආරක්ෂා වීමේ අයිතියත් එබදු අසාධාරණයන්ට පෙළඹවීමෙන් ආරක්ෂාවීමේ අයිතියත් සියල්ලන්ටම හිමි වේ.

8 වන වගන්තිය
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවලින් හෝ නීතියෙන් හෝ ප‍්‍රදානය වී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකදී බලධාරී ජාතික අධිකරණයකින් ප‍්‍රතිකර්ම යොදා ගැනීමේ හිමිකම සෑම පුද්ගලයකු සතු වේ.

9 වන වගන්තිය
බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමට හෝ අත් අඩංගුවේ රඳවා තබා තැබීම හෝ පිටුවහල් කිරීමට හෝ කිසියම් පුද්ගලයකු භාජනය නොකළ යුතුය.

10 වන වගන්තිය
තමන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳව හෝ තමන්ට විරුද්ධව යම් අපරාධ චෝදනාවක් පිළිබඳව හෝ නිශ්චය කිරීම සඳහා සාධාරණවූත් විවෘතවූත් ස්වාධීන අපක්ෂපාතී නඩු විභාගයකට සෑම තැනැත්තෙකුටම පූර්ණ සමානත්වයෙන් යුක්තව හිමිකම් ලබයි.

11 වන වගන්තිය
(1) දණ්ඩන වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සෑම පුද්ගලයෙකුටම නීත්‍යානුකූල විවෘත අධිකරණ විභාගයකින් වරදකරු බව ඔප්පු වන තෙක් නිර්දෝෂියෙකු ලෙස සලකනු ලැබීමටත් ඒ අධිකරණයේදී තම නිදහසට කරුණු පෙන්වා සිටීමට වුවමනා සියලූ අවශ්‍යතා නොඅඩුව ලැබීමටත් හිමිකම් ඇත්තේය.
(2) යම් වරදක් හෝ ප‍්‍රමාද දෝෂයක් කිසිවෙකුගෙන් සිදු වූ අවස්ථාවේදී එම කාලයේ පවතින ජාතික හෝ අන්තර්ජාතික නීතියෙහි එම වරද හෝ ප‍්‍රමාද දෝෂය දණ්ඩන වරදක් සේ නොසඳහන්ව පැවතියේ නම් එම වරදට හෝ ප‍්‍රමාද දෝෂයනට ඔහු වරදකරුවෙකු ලෙස නොසැලකිය යුතුයි. දණ්ඩන වරද කළ කාලයේදී වලංගුව පැවති දඬුවමකට වඩා වැඩි දඬුවමක් එවැනි වරදකරුවෙකු උදෙසා නොපැනවිය යුතුය.

12 වන වගන්තිය
කිසිම පුද්ගලයකුගේ පෞද්ගලික ජීවිතයට (රහස් භාවයට ), පවුලට, නිවසට හෝ ලිපි ගනුදෙනුවලට බලෙන් ඇඟිලි ගැසීම හෝ ගරුත්වයට හෝ වැදගත්භාවයට පහර ගැසීම හෝ නොකළ යුතුය.එබඳු ඇඟිලි ගැසීම් හෝ පහර ගැසීම්වලට විරුද්ධව නීතියේ රැකවරණය ලැබීමේ අයිතිය සෑම පුද්ගලයෙකු සතුව ඇත.

13 වන වගන්තිය
(1) සෑම පුද්ගලයෙකුටම තම රාජ්‍ය සීමාව ඇතුළත නිදහසේ ගමනාගමනයට හා පදිංචියට හිමිකම් තිබේ.(2) ස්වකීය රටද ඇතුලූව කවර දේශයකින් හෝ ඉවත්ව යාමටත් තම රටට ආපසු පැමිණීමටත් සෑම පුද්ගලයෙකුටම හිමිකම් ඇත.

14 වන වගන්තිය
(1) පරපීඩනයන්ගෙන් මිදී විදේශයක අභයාරක්ෂාව සෙවීමට හා එය භුක්ති විදීමට සෑම පුද්ගලයෙකුටම හිමිකම් ඇත.
(2) දේශපාලනමය නොවූ අපරාධ වලින් උද්ගත වන චෝදනා හා එක්සත් ජාතීන්ගේ අරමුණු වලට පටහැනි ක‍්‍රියාවන් නිසා පැන නගින චෝදනා වලට ලක් වූවන් සම්බන්ධයෙන් යට කී හිමිකම් ක‍්‍රියාත්මක නොවනු ඇත.

15 වන වගන්තිය
(1) සෑම පුද්ගලයෙකුටම ජාතිකත්වයට හිමිකම් ඇත.
(2) කිසිම පුද්ගලයකු සතු ජාතිකත්වය බලෙන් අහෝසි නොකළ යුතු අතර, ඔහුගේ ජාතිකත්වය වෙනස් කිරීමට ඔහුට ඇති අයිතිය පැහැර නොගත යුතුය.

16 වන වගන්තිය
(1) පූර්ණ වියට පත් සියලූ ස්ත‍්‍රී පුරුෂයන්ට ජාතිය, ජාතිකත්වය හෝ ආගම ආදී කිසිදු සීමාවක් නොතකා විවාහ වී පවුලක් ඇති කිරීමේ අයිතිය ඇත්තේය. විවාහ වීමේදී මෙන්ම විවාහය අවලංගු කිරීමේදී ද ඔවූහු සමාන අයිතිවාසිකම් දරති.
(2) විවාහයට අතුළත් කළ යුත්තේ එසේ ඇතුළත් වන ස්ත‍්‍රී පුරුෂ දෙදෙනාගේ සම්පූර්ණ නිදහස් කැමැත්ත පිට පමණකි.
(3) සමාජයේ ස්භාවික වූත් මූලික වූත්, සමූහ ඒකකය වන පවුල සමාජයේ හා රාජ්‍යයේ රැකවරණය ලැබීමේ අයිතිය දරයි.

17 වන වගන්තිය
(1) සෑම පුද්ගලයෙකුටම තනිව මෙන්ම හවුලේද දේපළ අයිතිය සඳහා අයිතිවාසිකම් ඇත්තේය.
(2) කිසිවෙකු සතු දේපළ බලෙන් අහිමි කිරීමට නොහැකිය.

18 වන වගන්තිය
සිතීමේ, හෘද සාක්ෂිය දැරීමේ හා ආගම ඇදහීමේ නිදහස භුක්ති විඳීමේ අයිතිවාසිකම් සෑම පුද්ගලයකුටම සතුව ඇත. තම ආගම හෝ විශ්වාසය වෙනස් කිරීමේ නිදහසත් තනිවම හෝ අන්‍යයන් සමග සමූහ වශයෙන් පෞද්ගලිකව මෙන්ම ප‍්‍රසිද්ධියේ තම ඇදහීම හා ආගම ප‍්‍රකට කිරීමේ ඉගැන්වීමේ පිළිපැදීමේ වන්දනා කිරීමේ හා අනුගමනය කිරීමේ නිදහසත් එයට ඇතුළත්ය.

19 වන වගන්තිය
තම නිදහස් මතය දැරීමට හා ප‍්‍රකාශ කිරීමට සෑම පුද්ගලයෙකුටම අයිතිය ඇත. අනුන්ගේ බාධාවක් නොමැතිව තම මතය දැරීමටත් දේශ සීමා නොසලකා කවර මාධ්‍යකින් හෝ තොරතුරු ලැබීමට හා දීමටත් ඇති අයිතියද ඊට ඇතුළත්ය.

20 වන වගන්තිය
(1) සාමකාමීව එක්රැස්වීමේ හා සංගම් පැවැත්වීමේ අයිතිය සෑම පුද්ගලයකුම සතුව ඇත.
(2) සමිති සමාගම්වලට බැඳීමට කිසිවෙකුට බල කළ නොහැක.

21 වන වගන්තිය
(1) කෙලින්ම හෝ නිදහස්ව තෝරාගත් නියෝජිතයන් මගින් හෝ තම රටේ රජයට සහභාගිවීමට සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත.
(2) තම රටේ රජ්‍ය සේවයට ඇතුළත්වීමට සෑම පුද්ගලයකුටම සමාන අයිතිවාසිකම් ඇත.
(3) රජයේ බලතල වල පදනම වන්නේ ජනතාවගේ කැමැත්තය. මේ කැමැත්ත ප‍්‍රකාශ වන්නේ සර්වජන ඡන්ද බලය අනුව රහසේ දෙන ඡන්දයෙන් හෝ ඊට සමාන ස්වාධීන ඡන්ද විමසීම් ක‍්‍රම මගින් කලින් කලට අව්‍යාජ ලෙසින් පවත්වන ඡන්ද විමසීම් මගිනි.

22 වන වගන්තිය
සමාජයට අයත් පුද්ගලයකු වශයෙන් සෑම පුද්ගලයකුටම ආරක්ෂාව හිමිවේ. සෑම රාජ්‍යකම සංවිධාන හා සම්පත් වලට අනුකූලව තමන්ගේ ගරුත්වයටත් පෞරුෂයේ වර්ධනයටත් අත්‍යාවශ්‍ය වන ආර්ථික සමාජයීය හා සංස්කෘතික අයිතීන් ජාතික ප‍්‍රයත්නයන්ගෙන් හා ජාත්‍යන්තර සහයෝගීතාවයෙන් ද ඒ ඒ රාජ්‍යන්ගේ සංවිධාන හා සම්පත් වලට අනුකූලව ද සාක්ෂාත් කර ගැනීමේ හිමිකම සෑම පුද්ගලයෙකුම සතුව ඇත්තේය.

23 වන වගන්තිය
(1) වැඩ කිරීමටත්, තම රැකියාව නිදහස්ව තෝරා ගැනීමටත්, සාධාරණවූත්, යුක්ති යුක්තවූත් වැඩ කිරීමේ පහසුකම් ලැබීමට මෙන්ම විරක්ෂා විපතින් ආරක්ෂාව ලැබීමටත්, සෑම පුද්ගලයකුටම හිමිකම් ඇත්තේය.
(2) කිසිදු විශේෂතාවක් හෝ වෙනස්කමක් හෝ නොමැතිව සමාන වැඩට සමාන වැටුප් ලැබීමේ අයිතිය සෑම පුද්ගලයකු සතුව ඇත.
(3) වැඩ කරන සෑම පුද්ගලයකුටම තමන්ට හා තම පවුලට මිනිස් ගරුත්වය රැකෙන ජීවිතයකට අවශ්‍ය සාධාරණ වැටුපක් ලැබීමටත්, අවශ්‍ය වුවහොත් අවශ්‍යය සමාජ ආරක්ෂාවන්ට රැකවරණය ගැනීමටත් අයිතියක් ඇත.
(4) ස්වකීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වෘත්තීය සමිති ඇති කර ගැනීමට හා ඒවාට බැඳීමට සෑම පුද්ගලයකුටම අයිතියක් ඇත.

24 වන වගන්තිය
වැඩකරන පෑ ගණන් පිළිබඳ සීමාවක් ඇතිව කලින් කලට ලැබෙන වැටුප් සහිත නිවාඩු දිනයන්ද ඇතුලූව විවේක ගැනීමේ අයිතිය සෑම පුද්ගලයකුම සතු වේ.

25 වන වගන්තිය
(1) ආහාර, ඇඳුම්, නිවාස හා සෞඛ්‍ය සේවා ආරක්ෂාවද, අවශ්‍යය සමාජ සේවා ආරක්ෂාවද, ඇතිව තමන්ගේත් තම පවුලේත් සෞඛ්‍යට හා යහපතට ප‍්‍රමාණවත් ජීවන තත්ත්වයක් භුක්ති විදීමටත් රැකියාව අහිමිවීම, රෝගාබාධ දුබලතාව වැන්දඹු වීම මහළුබව හා වෙනත් තමන්ට පාලනය නොකළ හැකි ආපදාවලින් ජීවිකාව දුෂ්කර වූ විට රැකවරණය ලැබීමටත් සෑම පුද්ගලයෙකූටම අයිතියක් ඇත.
(2) මාතෘභාවය හා ළදරුභාවය විශේෂ උපකාර හා ආරක්ෂාව උරුම තත්ත්වයෝය. විවාහ හෝ අවිවාහක මව්වරුන්ගෙන් ලැබෙන සියළුම දරුවෝ සමාන ආරක්ෂාවට හිමිකම් ඇත්තෝය.

26 වන වගන්තිය
(1) අධ්‍යාපනය ලැබීමට සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත්තේය. ප‍්‍රාථමික හා මූලික අවස්ථාවලදී පමණක් වන අධ්‍යාපනය නොමිළේ විය යුතුය. ප‍්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය්‍ය විය යුතුය. කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය ලැබීමට සාමාන්‍යයෙන් අවස්ථාව සැලසිය යුතු වන අතර දක්ෂතා පදනම් කොට උසස් අධ්‍යාපනය අත්කර ගැනීමේ අවස්ථාව සමානව සැලසිය යුතුය.
(2) මිනිස් පෞරුෂත්වය පරිපූර්ණ සංවර්ධනයට පත් කරන අතටත් මානව අයිතිවාසිකම් හා මූලික ස්වාධීනතාවන් පිළිබඳව ගරුත්වය ප‍්‍රබල වන අතටත් අධ්‍යාපනය යොමුකරවිය යුතුය. මිනිස් ප‍්‍රජාවගේ සියලූ රාජ්‍යන්, ජාතීන් හා ආගමික කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය අවබෝධයටත් ,සාමය පවත්වාගැනීම උදෙසා එක්සත් ජාතීන් ගෙන යන ක‍්‍රියාමාර්ගයටත් එය අනුබලයක් විය යුතූය.
(3) තම දරුවන්ට දිය යුත්තේ කූමන අධ්‍යාපනයක්දැයි තෝරා ගැනීමේ මුල් අයිතිය මව්පියන් සතූය.

27 වන වගන්තිය
(1)සමාජයේ සංස්කෘතික ජීවිතයට නිදහසේ සහභාගි වන්නටත් කලාවෙන් ආශ්වාදය භුක්ති විඳීමට හා විද්‍යාත්මක දියුණුවට සහභාගි වී එහි ප‍්‍රතිඵල භුක්ති විඳීමටත් සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත්තේය.
(2) තමන්ගේ කර්තෘත්වයට නිෂ්පාදිත විද්‍යාත්මක සාහිත්‍යමය හෝ කලාත්මක කෘතියකින් ජනිත වන අධ්‍යාත්මික හා භෞතික ඵල ප‍්‍රයෝජන රැක ගැනීමේ අයිතිය සෑම පුද්ගලයෙකූ සතුව ඇත.

28 වන වගන්තිය
මෙම ප‍්‍රකාශනයෙහි සඳහන් අයිතිවාසිකම් හා ස්වාධීනතාවන් පරිපූර්ණව සාක්ෂාත් කර ගත හැකි වන සමාජ හා ජාත්‍යන්තර රටාවකට සෑම පුද්ගයෙකූටම අයිතියක් ඇත.

29 වන වගන්තිය
(1) පුද්ගලයකුගේ පෞරුෂත්වය නිදහස් පරිපූර්ණ සංවර්ධනයකට පත්කර ගැනීමෙහිලා ඉටු කළ යුතු සමාජ යුතුකම් රැසක් සෑම පුද්ගලයකූ කෙරෙහිම පැවරී ඇත.
(2) පුද්ගලයාගේ අයිතිවාසිකම් හා ස්වාධීනතාවන් ක‍්‍රියාත්මක වීමේදී සීමාවක් තිබිය යුත්තේ හුදෙක් අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා ස්වාධීනතා ආරක්ෂාවීම පිණිසත් අධ්‍යාත්මික ගුණවගාව සඳහා අවශ්‍යතාව පිරිමැසීම පිණිසත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මහජන සාමය හා පොදු සුභ සිද්ධිය ආරක්ෂාවීම පිණිසත් පැනවෙන නීති පද්ධතියක් මඟින් පමණි.
(3) එක්සත් ජාතීන්ගේ පරමාර්ථයන් හා ප‍්‍රතිපත්ති වලට පටහැනි වන අන්දමකින් මෙම අයිතිවාසිකම් හා ස්වාධීනතාවන් ක‍්‍රියාත්මක නොකළ යුතුය.

30 වන වගන්තිය
මෙම ප‍්‍රකාශනයෙහි සඳහන් කිසිඳු අයිතිවාසිකමක් හෝ ස්වාධීනතාවක් හෝ වැනසී යන අන්දමේ කිසිම ක‍්‍රියාමාර්ගයකට අයිතියක් කිසිදු රාජ්‍යයකට කණ්ඩායමකට හෝ පුද්ගලයකුට අත්වන අන්දමේ අර්ථ නිරූපනයක් මේ ප‍්‍රකාශනයෙහි කවර වගන්තියකින් හෝ නොකළ යුතුය.

No comments: