Thursday, October 2, 2008

ආර්ථීක,සමාජයීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය

මෙම සම්මුතියට ඇතුළත් වන රාජ්‍ය පාර්ශවකරුවෝ.

එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ ප‍්‍රකාශිත මුලධර්මවලට අනුව මානව පවුලේ සියලූම සාමාජිකයන්ගේ සහ (සමාන)සහ අන්සතු කළ නොහැකි සම අයිතිවාසිකම්, ලෝකයේ නිදහස යුක්තිය හා සාමය පිළිබඳ පදනම බව සැලකිල්ලට ගෙන,

මෙ අයිතිවාසිකම් මිනිසාගේ නෛසර්ගික අභිමානය තුළින් හට ගන්නා බව පිළිගෙන ,

මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයට අනුව නිදහස් මනුෂ්‍යයන් ලෙස බියෙන් හා අගහිඟකම්වලින් තොරව සිටීමේ නිදහස භුක්තිවිඳීමේ උතුම් අදහස සාක්ෂාත් කරගත හැක්කේ සෑම කෙනෙකුටම තම ආර්ථික, සමාජයීය හා සංස්කෘතික අයිතිවාසිකම් මෙන්ම තම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ද භුක්ති විඳීමට, හැකිවන තත්ත්වයක් ඇති කළහොත් පමණක් බව පිළිගෙන,

මානව අයිතිවාසිකම් හා මුලික ස්වාධීනත්වයන් (බහුවිධ නිදහසට) පිළිබඳ, ගරුත්වය හා අනුකූලතාව සෑම තන්හිම වර්ධන කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට අයත් රාජ්‍යයන්ගේ බැඳීම සැලකිල්ලට ගෙන,අනෙක් පුද්ගලයන් සම්බන්ධයෙනුත්, තමා අයත් වන ජන කොට්ඨාශය වෙනුවෙනුත් යුතුකම් ඉටුකරලීමට ඇති පුද්ගලයා, මෙම සම්මුතියට මඟින් පිළිගෙන තිබෙන අයිතිවාසිකම් වර්ධනය කිරීමට හා ඒවාට අනුකූලතාව දැක්වීමට ප‍්‍රයත්න දැරීමේ වගකීමට යටත්ව සිටින බවත් අවබෝධ කොටගෙන,

මතු දැක්වෙන වගන්ති සම්බන්ධයෙන් එකඟ වන්නා හ.


1 කොටස
1 වන වගන්තිය
1. සියලූම ජාතීන්ට ස්වයංනීර්ණය පිළිබඳ අයිතිවාසිකම් ඇත. එම අයිතිවාසිකම් ප‍්‍රකාර ඔවුහු ස්වකීය දේශපාලන තත්ත්වය නිදහසේ නීර්ණය කරති. එමෙන්ම ස්වකීය ආර්ථික සමාජ හා සංස්කෘතික සංවර්ධනය සලසා ගනිති.
2. අන්‍යොන්‍ය ප‍්‍රයෝජන පිළිබඳ මුලධර්ම හා ජාත්‍යන්තර නීතිය මත පදනම් වු ජාත්‍යන්තර ආර්ථික සහයෝගය කෙරෙන් පැන නඟින බැඳීම්වලට හානියක් නොවන පරිදි, සියලූම ජාතීන්ට ඔවුන්ගේ අරමුණ ඉටුකර ගැනීම සඳහා ස්වකීය ස්වභාවික ධනය හා සම්පත් නිදහසේ කැමති පරිදි සොයා ගත හැකිය. කිසිම අවස්ථාවකදී ජාතියකට ස්වකීය යැපීම් මාර්ගය අහිමි කළ නොහැකිය.
3. ස්වයංපාලන නොවන හා භාරකාර ප‍්‍රදේශවල පරිපාලනය සඳහා වගකීම දරන අය ද ඇතුළුව මෙම සම්මුතියට ඇතුළත් රාජ්‍ය පාර්ශවකරුවෝ ස්වයං නිර්ණයනය පිළිබඳ අයිතිවාසිකම ලබාදීමට අනුබල දිය යුතු අතර, එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ විධිවිධානවලට අනුව එම අයිතිවාසිකමට ගරු කළ යුතුය.

2 වන වගන්තිය
1. මෙම සම්මුතියට අතුළත් සෑම රාජ්‍ය පාර්ශවකරුවෙක්ම මෙම සම්මුතියේ පිළිගෙන ඇති අයිතිවාසිකම් ප‍්‍රගතීශීලී වශයෙන් පුර්ණ වශයෙන් ඉටු කරලීම අරමුණින් තමා සතු උපරිම සම්පත් යොදා, විශේෂයෙන් ව්‍යවස්ථාදායක පියවර ගැනීමද ඇතුළුව, සියලූම යෝග්‍ය මාර්ගවලින් තනි තනිව ද ජාත්‍යන්තර සහාය හා සහයෝගය මඟින් ද විශේෂයෙන් ආර්ථික හා ශිල්පීය සහාය හා සහයෝගය මඟින්ද පියවර ගැනීමට පොරොන්දු වෙයි.2. මෙම සම්මුතියට ඇතුළත් රාජ්‍ය පාර්ශවකරුවෝ මෙම සම්මුතියෙහි දක්වා ඇති අයිතිවාසිකම් වර්ගය, වර්ණය, ස්ත‍්‍රී - පුරුෂභාවය, ආගම, දේශපාලන හෝ වෙනත් මත, ජාතික හෝ සමාජ සම්භවය, දේපළ, උපත හෝ වෙනත් තත්ත්වයන් පිළිබඳ කිසිම විශේෂත්වයක් හෝ වෙනස්කමක් නොමැතිව ක‍්‍රියාවේ යොදවන බවට ඇප වීමට පොරොන්දු වෙති.
3. මෙම සම්මුතියෙහි පිළිගෙන ඇති ආර්ථීක අයිතිවාසිකම් විජාතිකයන්ට කෙතරම් දුරට සහතික කරන්නේද යන්න සංවර්ධනය වන රටවල් විසින් මානව අයිතිවාසිකම් සහ ස්වකීය ජාතික ආර්ථිකය නිසි පරිදි සැලකිල්ලට ගැනීමෙන් පසු තීරණය කළ හැකිය.

3 වන වගන්තිය
මෙම සම්මුතියෙහි දැක්වෙන සියලූ ආර්ථික, සමාජයීය හා සංස්කෘතික අයිතිවාසිකම් භුක්ති විඳීමට පුරුෂයන්ට හා ස්ත‍්‍රීන්ට ඇති සමාන අයිතිවාසිකම් සහතික කිරීමට මෙම සම්මුතියට ඇතුළත් සියලූම රාජ්‍ය පාර්ශවකරුවෝ පොරොන්දු වෙති.

4 වන වගන්තිය
මෙම සම්මුතියට අනුකූලව රජය විසින් සලසනු ලබන අයිතිවාසිකම් භුක්ති විඳීමේදී, රජය විසින් එම අයිතිවාසිකම් යටත් කළහැකි වන්නේ එම අයිතිවාසිකම්වල ස්වභාවයට ගැලපෙන තාක් දුරට පමණක් නීතියෙන් නිර්ණය කෙරෙන සීමා කිරීම්වලට පමණක් බවත්, හුදෙක්ම ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජයක පොදු සුභසාධනය වර්ධනය කිරීමේ අරමුණ සඳහා පමණක් බවත් මෙම සම්මුතියට ඇතුළත් රාජ්‍ය පාර්ශවකරුවෝ පිළි ගනිති.

5 වන වගන්තිය
1. මෙහිදී පිළිගෙන ඇති අයිතිවාසිකම්වලින් කිසිවක් හෝ කිසියම් නිදහසක් හෝ විනාශ කිරීමක් නැතහොත් මෙම සම්මුතියෙහි විධිවිධාන සලසා ඇති ප‍්‍රමාණයට වඩා සීමා කිරීම අරමුණූ කොටගත් කිසියම් ක‍්‍රියාවක යෙදීමට හෝ කිසියම් ක‍්‍රියාවක් සිදු කිරීමට කිසිම අයිතිවාසිකමක් කිසිම රාජ්‍යයකට, පිරිසකට හෝ තැනැත්තෙකුට ඇති බව හැඟවෙන කිසිවක් මෙම සම්මුතියෙහි ඇති බවට අර්ථ නිරූපණය නොකළ යුතුය.
2. කිසිම රටක නීතියට, සම්ප‍්‍රදායන්ට, රෙගුලාසිවලට හෝ සිරිත්වලට අනුව එහි පිළිගෙන ඇති හෝ පවත්නා මානව අයිතිවාසිකම්වලින් කිසිවක් මෙම සම්මුතිය මඟින් පිළි ගන්නේ නැතැයි හෝ වඩා අඩු ප‍්‍රමාණයකින් පිළිගන්නේ යැයි යන මුවාවෙන් ඒවා කිසිවක් සීමා කිරීමට හෝ බෙලහීන කිරීමට හෝ ඉඩ දිය නොහැකිය.

6 වන වගන්තිය
1. තමා නිදහසේ තෝරා ගන්නා හෝ බාර ගන්නා වැඩක් මඟින් තම ජීවනෝපාය කරගෙන යාමට සෑම දෙනාටම ඇති අයිතිවාසිකම් ද ඇතුළුව වැඩ කිරීමේ අයිතිවාසිකම්, මෙම සම්මුතියට ඇතුළත් සියලූම රාජ්‍ය පාර්ශවකරුවන් විසින් පිළිගනු ලබන අතර, එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සුදුසු පියවර ගනු ලබනවා ඇත.
2. මෙම සම්මුතියට ඇතුළත් රාජ්‍ය පාර්ශවකරුවකු විසින් මෙම අයිතිවාසිකම් සම්පුර්ණයෙන්ම සාක්ෂාත් කරගනු උදෙසා ගතයුතු පියවරවලට, පුද්ගලයාගේ බහුවිධ මුලික දේශපාලන හා ආර්ථික නිදහස ආරක්ෂා කෙරෙන තත්ත්වයන් යටතේ ක‍්‍රියාත්මක වන ශිල්පීය හා වෘත්තීය මාර්ගෝපදේශක හා අභ්‍යාස වැඩ සටහන්, තිර ආර්ථික, සමාජ හා සංස්කෘතික සංවර්ධනය කරා ගමන් කරන ප‍්‍රතිපත්ති හා ශිල්පක‍්‍රම සහ පුර්ණ ඵලදායි නියුක්තිය ඇතුළත් වේ.

7 වන වගන්තිය
විශේෂයෙන්ම පහත දැක්වෙන සේවා තත්ත්වයන් සහතික කෙරෙන සාධාරණ හා හිතකර සේවා තත්ත්වයන් භුක්ති විඳීමට සෑම දෙනාටම ඇති අයිතිවාසිකම් මෙම සම්මුතියට ඇතුළත් රාජ්‍ය පාර්ශවකරුවෝ පිළි ගනිති. එනම් ඃ-

(අ) සියලූම සේවකයන්ට අවම වශයෙන් මේවා සහිත පාරිශ‍්‍රමිකයන් ඃ
(1) සාධාරණ වැටුප් සහ කිසිම ආකාරයක විශේෂත්වයන් හෝ වෙනස්කමක් නොමැතිව සමාන වටිනාකමෙන් යුත් වැඩ සඳහා සමාන පාරිශ‍්‍රමිකයන්, විශේෂයෙන්ම ස්ත‍්‍රීන්ට, සමාන වැඩ සඳහා සමාන ගෙවීම සහිතව පුරුෂයන් විසින් භුක්ති විඳින සේවා තත්ත්වයන්ට වඩා පහත් නොවන සේවා තත්ත්වයන් සහතික කළ යුතුය.
(11) ඔවුන්ටත් ඔවුන්ගේ පවුල්වලටත් මෙම සම්මුතියේ විධිවිධාන වලට අනුව යහපත් ජීවිකාවක්

(ආ) ආරක්ෂා සහිත හා සෞඛ්‍යදායක සේවා තත්ත්වයන්.
(ඇ) ජ්‍යෙෂ්ඨත්වය හා ප‍්‍රවීණතාව පිළිබඳ කරුණුවලට පමණක් යටත්ව තම සේවා නියුක්තියෙහි සුදුසු උසස්ම මට්ටමකට උසස්වීම් ලැබීමට සෑම කෙනෙකුටම සමාන අවස්ථාව.
(ඈ) විශ‍්‍රාමය, වවේකය හා වැඩ කරන පැය ගණන සාධාරණ ලෙස සීමා කිරීම සහ වැටුප් සහිත ආවර්තන නිවාඩු දින මෙන්ම රජයේ නිවාඩු දවස් සඳහා වැටුප්.

8 වන වගන්තිය
1. මෙම සම්මුතියට ඇතුළත් රාජ්‍ය පාර්ශ්වකරුවෝ ඃ
(අ) සෑම කෙනෙකුටම තම ආර්ථික හා සාමාජ ශුභසිද්ධිය වර්ධනය කර ගැනීම හා ආරක්ෂා කර ගැනීම සඳහා, අදාල සංවිධානයේ නීතිරීතිවලට පමණක් යටත්ව වෘත්තීය සමිති තැනීමට හා තමා කැමති වෘත්තිය සමිතියකට බැඳීමට ඇති අයිතිවාසිකම් සහතික කරන බවට පොරොන්දු වෙති. නීතිය මඟින් පනවන ලද්දාවුත් ජාතික ආරක්ෂාව හෝ මහජන සාමය හෝ අන් අයගේ අයිතිවාසකම් හා බහුවිධ නිදහස ආරක්ෂා කිරීම සඳහා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජයකට අවශ්‍යවුත්, සීමා කිරීම් කිසිවක් මෙම අයිතිවාසිකම් ක‍්‍රියාවට නැංවීම කෙරෙහි නොපැනවිය යුතුය.
(ආ) ජාතික ඒකාබද්ධ සංගම් හෝ සංයුක්ත සංගම් පිහිටුවීමට වෘත්තීය සමිතිවලට ඇති අයිතිවාසිකමත්, එම ඒකාබද්ධ සංගම්වලට හෝ සංයුක්ත සංගම්වලට ජාත්‍යන්තර වෘත්තීය සමිති සංවිධාන පිහිටුවීමට හෝ ඒවාට බැඳීමට ඇති අයිතිවාසිකමත් සහතික කරන බවට පොරොන්දු වෙති. (ඇ) නීතිය මඟින් පනවන ලද්දාවුත් ජාතික ආරක්ෂාව හෝ මහජන සාමය හෝ අන් අයගේ අයිතිවාසිකම් හා බහුවිධ නිදහස ආරක්ෂා කිරීම සඳහා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජයකට අවශ්‍යවුත්, සීමා කිරීම් හැර වෙනත් සීමා කිරීම් කිසිවකට යටත් නොවී නිදහසේ කටයුතු කිරීමට වෘත්තීය සමිතිවලට ඇති අයිතිවාසිකම් සහතික කරන බවට පොරොන්දු වෙති.
(ඈ) ඒ ඒ රටේ නීතිවලට අනුකූලව යොදවනු ලබන්නේ නම් වැඩ වර්ජන කිරීමේ අයිතිවාසිකම් සහතික කරන බවට පොරොන්දු වෙති.

2. සන්නද්ධ හමුදාවල හෝ පොලිස් සේවයේ හෝ රජයේ පරිපාලන තන්ත‍්‍රයේ හෝ සාමාජිකයින් විසින් මෙම අයිතිවාසිකම් ක‍්‍රියාවේ යෙදවීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල සීමා කිරීම් පැනවීම් මෙම වගන්තිය මගින් වළක්වනු නොලැබේ.
3. සංගම් නිදහස සහ සංවිධානය වීමේ අයිතිවාසිකම ආරක්ෂා කිරීම පිළිබඳ 1946 ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතියට අයත් වු රාජ්‍ය පාර්ශවකරුවන්ට, එම සම්මුතිය මඟින් දුන් ප‍්‍රතිඥවන්ට හානි කෙරෙන ව්‍යවස්ථාදායක පියවර ගැනීමට හෝ ඒවාට හානිවන අයුරින් නීතිය යෙදීමට හෝ මෙම වගන්තියේ සඳහන් කිසිවකින් බලය දෙනු නොලැබේ.

9 වන වගන්තිය
මෙම සම්මුතියට ඇතුළත් වන රාජ්‍ය පාර්ශවකරුවෝ , සමාජ රක්ෂණය ඇතුළුව සමාජ ආරක්ෂාව සඳහා සෑම කෙනෙකුටම ඇති අයිතිවාසිකම් පිළි ගනිති.

10 වන වගන්තිය
1. සමාජයේ ස්වභාවික මුලික සමුහ ඒකකය වන පවුල සඳහා, විශේෂයෙන්ම එය පිහිටුවීම සඳහා සහ යැපෙන දරුවන්ගේ භාරය හා අධ්‍යාපනය සඳහා එය වගකිව යුතු කාලය තුළදී ඊට හැකි පුළුල්ම ආරක්ෂාව හා ආධාරය දිය යුතුය. විවාහයක් සිදුකළ යුත්තේ විවාහ වීමට අදහස් කරන කාලත‍්‍රයන්ගේ නිදහස් කැමැත්ත ඇතිවය.
2. දරු ප‍්‍රසූතියට පෙර හා පසුව සෑහෙන කාල සීමාවක් තුළ මව්වරුන්ට විශේෂ ආරක්ෂාව සැලසිය යුතුය. වැඩ කරන මව්වරුන්ට එම කාලය තුළ වැටුප් සහිත නිවාඩු හෝ ප‍්‍රමාණවත් සමාජ ආරක්ෂක ප‍්‍රතිලාභ සැලසිය යුතුය.
3 මව්පිය තත්ත්වය හෝ වෙනත් කරුණූ හෝ නිසා කිසිම විශේෂත්වයක් හෝ වෙනස්කමක් නොකොට ළමයින් හා තරුණ අය වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහාය දීමේ පියවර ගත යුතුය. ළමයින් සහ තරුණ අය ආර්ථීක වශයෙන් හා සාමාජික වශයෙන් සුරා කෑමෙන් ආරක්ෂා කර ගත යුතුය.
ඔවුනගේ සදාචාරයට හෝ සෞඛයට හානිකර හෝ ජිවිතයට අනතුරුදායක හෝ ඔවුන්ගේ සාමාන්‍ය වර්ධනයට බාධාකාරී විය හැකි හෝ වැඩවල යෙදවීම නීතියෙන් දඬුවම් කළ හැකි ක‍්‍රියාවක් බව ප‍්‍රකාශ කළ යුතුය, යනුවෙන් මෙම සම්මුතියට ඇතුළත්වන රාජ්‍ය පාර්ශවකරුවෝ පිළිගනිති.

11 වන වගන්තිය
1. මෙම සම්මුතියට ඇතුළත් වන පාර්ශවකරුවෝ, ප‍්‍රමාණවත් ආහාර, ඇඳුම් පැළඳුම් හා නිවාස ඇතුළුව තමාටත්, තම පවුලටත් ප‍්‍රමාණවත් ජීවන තත්ත්වයක් ලබා ගැනීම සඳහා ජීවන තත්ත්වය අඛණ්ඩව දියුණු කර ගැනීම සඳහාද සෑම කෙනෙකුටම ඇති අයිතිය පිළි ගනිති. මෙම අයිතිවාසිකම සාක්ෂාත් කර ගැනීම සහතික කරනු වස්, නිදහස් කැමැත්ත මත පදනම් වු ජාත්‍යන්තර සහයෝගයේ අත්‍යාවශ්‍ය වැදගත්කම පිළි ගනිමින් රාජ්‍ය පාර්ශවකරුවෝ යෝග්‍ය පියවර ගන්නාහ.
2. මෙම සම්මුතියට ඇතුළත් වන පාර්ශවකරුවෝ, සෑම කෙනෙකුටම කුසගින්නෙන් තොරව සිටීමට ඇති මුලික අයිතිවාසිකම පිළිගෙන,
(අ) ශිල්පීය හා විද්‍යාත්මක දැනුම උපරිම වශයෙන් ප‍්‍රයෝජනයට ගනිමින්ද පෝෂණය පිළිබඳ දැනුම ව්‍යාප්ත කරමින්ද, ස්වභාවික සම්පත්වල ඉතාම සාර්ථක සංවර්ධනය හා උපයෝගීකරණය අරභයා කෘෂිකාර්මික ක‍්‍රම වර්ධනය හෝ ප‍්‍රතිසංස්කරණ මඟින්ද ආහාර නිෂ්පාදන, සංරක්ෂණ හා බෙදා හැරීමේ ක‍්‍රම දියුණු කිරීම සඳහාත්,
(ආ) ආහාර ආනයනය කරන රටවල මෙන්ම ආහාර අපනයනය කරන රටවල ප‍්‍රශ්න සැලකිල්ලට ගනිමින් අවශ්‍යතාවට සරිලන අන්දමට ලෝක ආහාර සැලසුම් සාධාරණ ලෙස බෙදා හැරීම සහතික කරනු සඳහාත්,
අවශ්‍ය කරන නිශ්චිත වැඩසටහන් ඇතුළුව, තනි තනිව ද ජාත්‍යන්තර සහයෝගය ඇතිව ද, පියවර ගන්නාහ.

12 වන වගන්තිය
1. මෙම සම්මුතිය ඇතුළත් වන සියලූම රාජ්‍ය පාර්ශවකරුවෝ, ලබාගත හැකි උසස්ම ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්ත්වය භුක්ති විඳීමට සෑම කෙනෙකුටම ඇති අයිතිවාසිකම පිළිගනිති.
2. මෙම සම්මුතියට ඇතුළත් වන රාජ්‍ය පාර්ශවකරුවන් විසින් මෙම අයිතිවාසිකම් පුර්ණ වශයෙන් සාක්ෂාත් කරගනු සඳහා ගතයුතු පියවරවලට.
(අ) අජීව උපත් අනුපාතිකය හා ළදරු මරණ අනුපාතිය අඩු කිරීම සහ දරුවාගේ නිරෝගී වර්ධනය සඳහාත්,
(ආ) පරිසර හා කෘෂිකාර්මික ස්වස්ථතාව පිළිබඳ සියලූම අංග වැඩි දියුණු කිරීම සඳහාත්,
(ඇ) වසංගත, ප‍්‍රාදේශීය, වෘත්තිය සහ අනෙකුත් රෝග නිවාරණය, වර්ධනය හා ඒවාට ප‍්‍රතිකාර කිරීම සඳහාත්,
(ඈ) අසනීප අවස්ථාවකදී සෑම විටම වෛද්‍ය සේවයේ සහ වෛද්‍ය ප‍්‍රතිකාර සහතික කෙරෙන තත්ත්වයන් ඇති කිරීම සඳහාත් ගතයුතු පියවර ඇතුළත් වේ.

13 වන වගන්තිය
1. මෙම සම්මුතියට ඇතුළත් වන රාජ්‍ය පාර්ශවකරුවෝ සෑම කෙනෙකුටම අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිවාසිකම පිළි ගනිති. අධ්‍යාපනය මානව ස්වීයත්වයේ පුර්ණ සංවර්ධනය සහ එහි උදාරත්වය පිළිබඳ හැඟීම කෙරෙහි යොමු කරවීය යුතු බවත් , එය මානව අයිතිවාසිකම් හා බහුවිධ මුලික නිදහස සඳහා ගෞරවය ශක්තිමත් කළ යුතු බවටත් ඔවුහු එකඟ වෙති. අධ්‍යපනය විසින්ම සියලූම තැනැත්තන්ට නිදහස් සමාජයක ඵලදායි ලෙස හවුල් වීමට අවස්ථාව සලසනු ඇතැයි ද සියලූම ජාතීන් අතර හා සියලූම වාර්ගික, මානව හෝ ආගමික කොටස් අතර අවබෝධය, ඉවසීම හා මිත‍්‍රත්වය වර්ධනය කරනු ඇතැයිද සාමය පවත්වා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ කටයුතුවලට රුකුල් දෙනු ඇතැයිද ඔවුහු තවදුරටත් එකඟ වෙති.
2. මෙම සම්මුතියට ඇතුළත් වන රාජ්‍ය පාර්ශවකරුවෝ මෙම අයිතිවාසිකම් පුර්ණ වශයෙන් සාක්ෂාත් කර ගැනීම සඳහා මෙසේ පිළි ගනිති.
(අ) ප‍්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය විය යුතු අතර සැමටම නිදහසේ ලැබිය යුතුය.
(ආ) විවිධ ස්වරූපයෙන් යුක්ත වු ද, කාර්මික හා වෘත්තීය ද්විතියික අධ්‍යාපනය, ඇතුළත් වු ද ද්විතියික අධ්‍යාපනය, සියලූම සුදුසු මාර්ගවලින් සහ විශේෂයෙන්ම ප‍්‍රගාමී වශයෙන් නිදහස් අධ්‍යාපනය ඇති කිරීමෙන් සැමටම පොදුවේ ලබාදිය යුතුය. ලබාගත හැකිවිය යුතුය :
(ඇ) හැකියාව පදනම් කොට ගෙන, සෑම සුදුසු මාර්ගයකින්ම හා විශේෂයෙන් ප‍්‍රගාමී වශයෙන් නිදහස් අධ්‍යාපනය ඇති කිරීමෙන් සැමටම උසස් අධ්‍යාපනය ඇති කිරීමෙන් සැමටම සමසේ උසස් අධ්‍යාපනය ලබාගත හැකි විය යුතුය.
(ඈ) ප‍්‍රාථමික අධ්‍යාපන නොලැබු එය සම්පුර්ණ නොකළ අය සඳහා හැකිතාක් දුරට මුලික අධ්‍යාපනය දිරි ගැන්වීම හෝ දියුණු කිරීම හෝ කළ යුතුය.
(ඉ) සියලූම මට්ටම්වලින් යුත් පාසැල් ක‍්‍රමයක් වර්ධනය කිරීමෙහිලා උනන්දුවෙන් ක‍්‍රියාකළ යුතුය. ප‍්‍රමාණවත් ශිෂ්‍යත්ව ක‍්‍රමයක් පිහිටුවිය යුතුය. ආචාර්යවරුන්ගේ භෞතික තත්ත්වයන් අඛණ්ඩවම දියුණු කළ යුතුය.
3. රජයේ අධිකාරීන් විසින් පිහිටුවන ලද පාසල් හැර, රජය විසින් නියම කරනු හෝ අනුමත කරනු ලැබිය හැකි අවම අධ්‍යාපනික සම්මතයන්ට අනුකූලවන පාසල් තම දරුවන් සඳහා තෝරා ගැනීමට දෙමාපියන්ට සහ අදාළ අවස්ථාවලදී නීත්‍යානුකූල භාරකරුවන්ට ඇති නිදහස ගරු කිරීමටත් ඔවුන්ගේම විශ්වාසයන්ට අනුව ඔවුන්ගේ දරුවන්ගේ ආගමික හා සදාචාරාත්මය අධ්‍යාපනය සහතික කිරීමටත් මෙම සම්මුතියට ඇතුළත් වන රාජ්‍ය පාර්ශවකරුවෝ පොරොන්දු වෙති.
4. සැමවිටම මෙම වගන්තියේ 1 වන ෙඡ්දයේ දක්වා ඇති මුලධර්ම පිළිපැදීමටත්, දෙනු ලබන අධ්‍යාපනය රජය විසින් නියම කරනු ලැබිය හැකි අවම සම්මතයන්ට අනුකූල වීමේ නියමයටත් යටත්ව අධ්‍යාපන ආයතන පිහිටුවීමට හා මෙහෙයවීමට පුද්ගලයන්ට හා මණ්ඩලවලට ඇති නිදහසට මෙම වගන්තියේ කිසිම කොටසකින් බාධාවක් වන්නේ යැයි තේරුම් නොගත යුතුය.

14 වන වගන්තිය
පාර්ශවකරුවකු වන අවස්ථාවේදී තම අගනුවරට අයත් ප‍්‍රදේශයේ හෝ තම බල සීමාවට අයත් අනෙකුත් ප‍්‍රදේශවල හෝ නොමිලයේ ප‍්‍රාථමික අධ්‍යාපනය සැලසීමට අපොහොසත් වී ඇති මෙම සම්මුතියට ඇතුලත් වන සෑම රාජ්‍ය පාර්ශවකරුවෙක්ම, සැමවිටම නොමිලයේ අනිවාර්ය අධ්‍යාපනය ලබා දීමේ මුල ධර්මය ප‍්‍රගතිශීලි වශයෙන් ක‍්‍රියාත්මක කිරීම සඳහා සවිස්තර ක‍්‍රියාකාරී සැලැස්මක් අවුරුදු දෙකක් ඇතුළත් සකස් කර පිළිගැනීමට පොරොන්දු වෙයි. එසේ ක‍්‍රියාත්මක කිරීම සාධාරණ අවුරුදු ගණනක් ඇතුළත සිදුවිය යුතු අතර එම කාලසීමාව සැලැස්මෙහි නියම කොට දැක්විය යුතුය.

15 වන වගන්තිය
1. සෑම කෙනෙකුටම -
(අ) සංස්කෘතික ජීවිතයකට සහභාගී වීමටත්
(ආ) විද්‍යාත්මක දියුණුවේ හා එය යොදා ගැනීමේ ඵල ප‍්‍රයෝජනය භුක්ති විදීමටත්
(ඇ) තමා කර්තෘ වන කිසියම් විද්‍යාත්මක හා සාහිත්‍යයික හෝ තුලනාත්මක නිෂ්පාදනයකින් අත්වන සදාචාර සහ භෞතික සුභ සිද්ධිය ආරක්ෂාකර ගැනීමෙන් ප‍්‍රයෝජන ලැබීමටත් සියලූ දෙනාට ඇති අයිතිය මෙම සම්මුතියට ඇතුළත්වන රාජ්‍යය පාර්ශවකරුවෝ පිළිගනිති.
2. මෙම සම්මුතියට ඇතුළත්වන රාජ්‍ය පාර්ශවකරුවන් විසින් මෙම අයිතිවාසිකම පූර්ණවශයෙන් සාක්ෂාත් කර ගැනීම සඳහා ගනු ලබන පියවරවලට විද්‍යාව හා සංස්කෘතිය, සංරක්ෂණය සංවර්ධනය හා පැතිරවීම සඳහා අවශ්‍යය පියවර ඇතුළත් වන්නේය.
3. මෙම සම්මුතියට ඇතුළත්වන රාජ්‍ය පාර්ශවකරුවෝ විද්‍යාත්මක පර්යේෂණ හා නිර්මාණාත්මක කටයුතු සඳහා නැතිවම බැරි නිදහසට ගෞරව කිරීමට පොරොන්දු වෙති.
4. මෙම සම්මුතියට ඇතුළත්වන රාජ්‍ය පාර්ශවකරුවෝ විද්‍යාත්මක හා සංස්කෘතික ක්ෂේත‍්‍රයෙහි ජාත්‍යන්තර සබඳතා හා සහයෝගය දිරිගැන්වීමෙන් හා වැඩිදියුණු කිරීමෙන් අත්වන ප‍්‍රයෝජන පිළිගනිති.

Iv වන කොටස

16 වන වගන්තිය
1. මෙම සම්මුතියට ඇතුළත්වන රාජ්‍යය පාර්ශ්වකරුවෝ මෙයින් පිළිගනු ලැබූ අයිතිවාසිකම් පිළිපදිනු සඳහා ඒ ඒ රාජ්‍යයන් විසින් යොදාගනු ලැබු වැඩ පිළිවෙල හා ඒවායේ ප‍්‍රගතිය පිළිබඳ වාර්තා, සම්මුතියෙහි මෙම කොටසෙහි දැක්වෙන අයුරු ඉදිරිපත් කිරීමට පොරොන්දු වෙති.
2. (අ) සියලූම වාර්තා එක්සත් ජාතීන්ගේ මහලේකම් වෙත ඉදිරිපත් කළ යුතුයි. එවිට ඔහු විසින් මෙම වාර්තා මෙම සම්මුතියෙහි විධිවිධාන අනුව බලනු සඳහා ආර්ථික හා සමාජීක මණ්ඩලය වෙත වාර්තා ඉදිරිපත් කළ යුතුය. (ආ) තවද, එක්සත් ජාතීන්ගේ මහා ලේකම් විසින්, මෙම සම්මුතියට ඇතුළත් පාර්ශවයන් වුද විශේෂිත ආයතනවල සාමාජිකයන් වුද රාජ්‍යයන් ඉදිරිපත් කළ එම වාර්තා හෝ ඒවායේ අදාළ කොටස්වල පිටපත්, එම වාර්තා හෝ ඒවායේ කොටස්, යථොක්ත ආයතනවල ව්‍යවස්ථාදායක නීත්‍යානුකූල ලේඛනවල දැක්වෙන පරිදි එම ආයතනවල නියමිත වගකීම් ක්ෂේත‍්‍රයට යටතට ගැනෙන කවර හෝ කාරණයකට අදාළ වන තාක් දුරට එම විශේෂිත ආයතනවල යැවිය යුතුය.

17 වන වගන්තිය
1. මෙම සම්මුතියට ඇතුලත් රාජ්‍ය පාර්ශවයන් විසින් ආර්ථික හා සාමාජ මණ්ඩලය විසින් පිහිටවනු ලබන වැඩපිළිවෙලක් අනුව මෙම සමාජ සම්මුතිය බලාත්මක බවට පත්ව අවුරුද්දක් ඇතුළත අදාළ රාජ්‍ය පාර්ශවකරුවන් හා විශේෂිත ආයතන සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ ඒ රාජ්‍යයන්ගේ වාර්තා අවධියෙන් අවධියට ඉදිරිපත් කළ යුතුය.
2. මෙම සම්මුතිය යටතේ වගකීම් සාක්ෂාත් කර ගැනීමේ ප‍්‍රමාණයන්ට අදාළ වන කරුණු හා දුෂ්කර වාර්තා මඟින් දැක්විය හැකිය.
3. මෙම සම්මුතියට ඇතුළත් පාර්ශවයන් වන යම් රාජ්‍යයක් විසින් එක්සත් ජාතීන් වෙත හෝ විශේෂිත ආයතනයක් වෙත එම අදාළ තොරතුරු සපයා තිබෙන විට එම තොරතුරු නැවත ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ. එහෙත් එලෙස සපයනු ලැබු තොරතුරු පිළිබඳව කෙටියෙන් සඳහන් කිරීම පමණක් සෑහේ.

18 වන වගන්තිය
මානව අයිතිවාසිකම් හා බහුවිධ මුලික නිදහස යන ක්ෂේත‍්‍රයෙහි එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය යටතේ තම වගකීම් පරිදි ආර්ථික හා සමාජ මණ්ඩලය විසින් විශේෂිත ආයතන සමග, එම ආයතන විසින් තමන්ගේ කටයුතු සම්බන්ධව විෂය පථයට අදාළව මෙම සම්මුතිය යටතේ වන්නා වු විධිවිධාන පිළිපැදීමෙහි ලා ලැබු ප‍්‍රගතිය වාර්තා කිරීමේදී යම් යම් වැඩ පිළිවෙලවල් සකසා ගත හැකිය. එකී ආයතනවලට අයත් ඒ ඒ අංශ විසින් ක‍්‍රියාත්මක පාර්ශවයෙහිලා අනුමත කොට ගත් තීරණ හා නිර්දේශ පිළිබඳ විස්තර ද මේ වාර්තාවලට ඇතුළත් කිරීමට පිළිවන.

19 වන වගන්තිය
රාජ්‍ය පාර්ශවකරුවෝ විසින් මානව අයිතිවාසිකම් පිළිබඳ ඉදිරිපත් කරනු ලබන වාර්තා 16 වැනි 17 වැනි වගන්තිය යටතේ විශේෂිත ආයතන විසින් මානව අයිතිවාසිකම් පිළිබඳව ඉදිරිපත් කරනු ලබන වාර්තා 8 වැනි වගන්තිය යටතේද ආර්ථික හා සමාජ මණ්ඩලය විසින්, අධ්‍යයනය කොට පොදු නිර්දේශයන් කිරීම සඳහා හෝ යථා පරිදි විස්තර දැනගනු සඳහා හෝ මානව අයිතිවාසිකම් පිළිබඳ කොමිසම වෙත යැවිය හැකිය.

20 වන වගන්තිය
මෙම සම්මුතියෙහි රාජ්‍ය පාර්ශවකරුවන් විසින් හෝ අදාළ විශේෂිත ආයතන විසින් හෝ 19 වැනි වගන්තිය යටතේ කිසියම් පොදු නිර්දේශයන් සම්බන්ධයෙන් හෝ මානව අයිතිවාසිකම් පිළිබඳ යම් වාර්තාවක හෝ එහි සඳහන් යම් ලේඛනයක ඇතුළත් පොදු නිර්දේශයන් සම්බන්ධයෙන් හෝ ආර්ථික හා සමාජ මණ්ඩලය වෙත කරුණු දැක්විය හැකිය.

21 වන වගන්තිය
ආර්ථීක හා සමාජ මණ්ඩලය විසින් මෙම සම්මුතියෙහි පිළිගනු ලැබු අයිතිවාසිකම් සාමාන්‍යයෙන් පිළිපදිනු ලැබීම සඳහා යොදවනු ලැබු වැඩ පිළිවෙළවල් හා ඒවායෙහි ප‍්‍රගතිය පිළිබඳව මෙම සම්මුතියට ඇතුළත් රාජ්‍ය පාර්ශවකරුවන්ගෙන් හා විශේෂිත ආයතනවලින් ලැබුණු තොරතුරුවල සාරාංශයක් හා පොදු ස්වභාවයේ නිර්දේශ ඇතුළත් වාර්තා මහා මණ්ඩලය වෙත කලින් කලට ඉදිරිපත් කළ හැකිය.

22 වන වගන්තිය
ආර්ථික හා සමාජ මණ්ඩලය විසින්, මෙම සම්මුතියෙහි මෙම කොටසෙහි සඳහන් වාර්තාවලින් පැන නැගෙන්නාවු ද මෙම සම්මුතායෙහි කා‍ර්ය්‍යක්ෂම ප‍්‍රගතිශීලි ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාධක විය හැකි ජාත්‍යන්තර වැඩපිළිවෙළවල්හි සුදුසු බව පිළිබඳව ඒ ඒ ආයතනවල විෂයය ක්ෂේත‍්‍රයන් ඇතුළත එම ආයතනවලට උපකාරී වියහැකි වුද කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අනිකුත් ආයතන, ඔවුන්ගේ උප ආයතන හා ශිල්පීය සහාය ලබා දීමට අදාළ විශේෂිත ආයතන යන මේවායෙහි අවධානය යොමු කරවාලිය හැකිය.

23 වන වගන්තිය
මෙම සම්මුතියට ඇතුළත් රාජ්‍ය පාර්ශවකරුවෝ මෙම සම්මුතියෙන් පිළි ගැනෙන අයිතිවාසිකම් ලබාදීම සඳහා සම්මුතිවලට එළඹීම. නිර්දේශ පිළි ගැනීම, ශිල්පීය සහාය සලසා දීම, ඒ ඒ අදාළ රජය හා එක් ව සංවිධානය කරනු ලැබ අදහස් විමසුම හා අධ්‍යාපනය අරමුණු කොට ප‍්‍රාදේශීය රැස්වීම් හා ශිල්පීය රැස්වීම් පැවැත්වීම වැනි ක‍්‍රම ද ජාත්‍යන්තර ක‍්‍රියාවන් වශයෙන් ඇතුළත්වන බවට එකඟ වෙති.

24 වන වගන්තිය
මෙම සම්මුතිය යටතේ සලකා බැලෙන කාරණා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විවිධ ආයතනවල හා විශේෂිත ආයතනවල ඒ ඒ වගකීම් විග‍්‍රහ කෙරෙන එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියෙහි හා විශේෂිත ආයතනවල ව්‍යවස්ථාවන්හි කියැවෙන විධිවිධාන කිසිවකට මෙම සම්මුතියෙහි සඳහන් කිසිවක් නිසා හානියක් සිදුවන්නේ යයි අර්ථ නිරූපණය කොට නොගත යුතුය.

25 වන වගන්තිය
සියලූම ජාතීන්ට තමන්ගේ ස්වභාවික ධනය හා සම්පත් සම්පුර්ණයෙන්ද, නිදහසින් යුතුවද, භුක්ති විඳිමෙහි සහ ප‍්‍රයෝජනයට ගැනීමෙහි ලා සතු නෛසර්ගික අයිතියට මෙම සම්මුතියෙහි සඳහන් කිසිවක් නිසා හානි සිදු වන්නේ යයි අර්ථ නිරූපණය කොට නොගත යුතුය.

V වන කොටස

26 වන වගන්තිය
1. මෙම සම්මුතිය එක්සත් ජාතීන්ගේ කිසියම් රාජ්‍ය සාමාජිකයකු හේ එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතන කිසිවක සාමාජිකයකු හෝ අන්තර් ජාතික අධිකරණ ව්‍යවස්ථාවෙහි රාජ්‍ය පාර්ශවකරුවෙකු හෝ මෙම සම්මුතියට පාර්ශවකරුවෙකු වෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ආරාධනා කරනු ලැබු වෙනත් කිසියම් රාජ්‍යයන් හෝ විසින් අත්සන් කරනු ලැබීම පිණිස විවෘතව පවත්නේය.
2. මෙම සම්මුතිය ස්ථීර කරනු ලැබීමට යටත් වන්නේය. ස්ථිර කිරීමේ නිත්‍යානුකූල ලේඛන එක්සත් ජාතීන්ගේ මහලේකම් වෙත භාරදිය යුතුය.
3. මෙම සම්මුතිය මෙම වගන්තියෙහි 1 වැනි ඡේදයෙහි සඳහන් වන කවර රාජ්‍යයක් විසින් වුවද ඇතුළත් වීම සඳහා විවෘතව පැවතිය යුතුය.
4. එක්සත් ජාතීන්ගේ මහලේකම් වෙත ඇතුළත්වීමේ නිත්‍යානුකූල ලේඛනයක් භාරදීමෙන් අනුමැතිය ක‍්‍රියාත්මක කළ යුතුය.
5. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින්, මෙම සම්මුතියට අත්සන් තැබු හෝ ඊට ඇතුළත් වු හෝ සියලූම රාජ්‍යයන්ට ස්ථිර කිරීමේ හෝ ඇතුළත්වීමේ එ් එ් නිත්‍යානුකූල ලේඛන සම්බන්ධයෙන් දැනුම්දිය යුතුය.

27 වන වගන්තිය
1. මෙම සම්මුතිය එය ස්ථිර කිරීමේ නිත්‍යානුකූල ලේඛනය හෝ ඇතුළත්වීමේ නීත්‍යානුකූල ලේඛනය යන මේවායින් තිස්පස් වැනි ලේඛනය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වෙත භාර දෙනු ලැබු දිනයෙහි සිට තෙමසක් ඉක්ම යාමෙන් පසු බලාත්මක විය යුතුය.
2. තිස්පස් වැනි ස්ථිර කිරීමේ නිත්‍යානුකුල ලේඛනය හෝ ඇතූළත් වීමේ නිත්‍යානුකූල ලේඛනය භාරදෙනු ලැබීමෙන් පසු මෙම සම්මුතිය ස්ථිර කරන ලෙස හෝ ඊට ඇතුළත් වන ඒ ඒ රාජ්‍යයන් සම්බන්ධයෙන් එම රාජ්‍ය තම තමන්ගේ ස්ථිර කිරීමේ නිත්‍යානුකූල ලේඛනය හෝ ඇතුළත්වීමේ නීත්‍යානුකූල ලේඛනය භාර දෙනු ලැබු දිනයෙහි සිට තෙමසක් ඉක්ම යාමෙන් පසු මෙම සම්මුතිය බලාත්මක විය යුතුය.

28 වන වගන්තිය
මෙම සම්මුතියෙහි විධි විධාන සීමාවන්ගෙන් හෝ ව්‍යාතිරේකයන්ගේන් හෝ තොරව ඒකාබද්ධ රාජ්‍යවල සියලූම කොටස් කෙරෙහි අදාළ විය යුතුය.

29 වන වගන්තිය
1. මෙම සම්මුතියෙහි කවර හෝ රාජ්‍ය පාර්ශවකරුවෙකු විසින් සංශෙෘ්ධන යෝජනා කොට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වෙත ඉදිරිපත් කළ හැකිය. එවිට මහ ලේකම් , එම යෝජනා සලකා බලා ඒ ගැන ඡන්දය විමසනු සඳහා රාජ්‍ය පාර්ශවකරුවන්ගේ සම්මේලනයක් පැවැත්වීමට අවශ්‍ය ලෙස සලකන්නේදැයි තමාට දන්වන ලෙස ඉල්ලූම් කොට ඒ සමග මෙම සම්මුතියෙහි රාජ්‍ය පාර්ශවකරුවන් වෙත එම යෝජිත සංශෝධන බෙදා හැරිය යුතුය. රාජ්‍ය පාර්ශවකරුවන්ගෙන් යටත් පිරිසෙන් තුනෙන් එකක් වන කොටසක් එබඳු සම්මේලනයක් පැවැත්වීමට අවශ්‍ය ලෙස සලකන්නේ නම් මහලේකම් විසින් එක්සත් ජාතීන්ගේ අනුග‍්‍රහය යටතේ සම්මේලනයක් කැඳවිය යුතුය. එම සම්මේලනයට පැමිණ ඡන්දය දෙන රාජ්‍ය පාර්ශවකරුවන් අතරින් වැඩි සංඛ්‍යාවක් විසින් පිළිගනු ලබන කවර හෝ සංශෝධනයක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතුය.
2.සංශෝධනයන්, එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් අනුමත් කරනු ලැබු , මෙම සම්මුතියෙහි රාජ්‍ය පාර්ශවකරුවන් අතරින් තුනෙන් දෙකක වැඩි ඡන්දය ඒ ඒ රාජ්‍යවල ව්‍යවස්ථාදායක පද්ධති අනුව ලබා පිළි ගැණුන පසු බලාත්මක විය යුතුය.
3. එම සංශෝධන බලාත්මක වු කල ඒවා පිළිගනු ලැබු රාජ්‍ය පාර්ශවකරුවන් ඒවායින් බැඳී සිටිය යුතුය. අනිකුත් රාජ්‍ය පාර්ශවකරුවන් මෙම සම්මුතියෙහි විධිවිධාන වලින් හා එම රාජ්‍යයන් විසින් කලින් පිළිගනු ලැබු කවර හෝ සංශෝධනවලින් එවකටත් බැඳී සිටිය යුතුය.

30 වන වගන්තිය
26 වන වගන්තියෙහි 5 වැනි ඡේදය යටතේ කරනු ලැබු දැනුම් දීම් කෙසේ වෙතත් ඒ නොතකා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් එම වගන්තියෙහි 1 වැනි ඡේදයෙහි සඳහන් වන සියලූම රාජ්‍යයන් වෙත මෙහි පහත දැක්වෙන තොරතුරු දැන්විය යුතුය.
(අ) 26 වැනි වගන්තිය යටතේ අත්සන් කිරීම්, ස්ථිර කිරීම් හා ඇතුළත් වීම්.
(ආ) 27 වැනි වගන්තිය යටතේ මෙම සම්මුතිය බලාත්මක වන දිනය හා 29 වැනි වගන්තිය යටතේ කවර හෝ සංශෝධනයක් බලාත්මක වන දිනය.

31 වන වගන්තිය
1. චීන, ඉංග‍්‍රීසි, ප‍්‍රංශ, රුසියන්, හා ස්පාඤ්ඤ පිටපත් ද එක සමානව නිවැරදි වන මෙම සම්මුතිය එක්සත් ජාතීන්ගේ ලේඛනාගාරයෙහි තැන්පත් කළ යුතුය.
2. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් 26 වැනි වගන්තියෙහි සඳහන් වන සියලූම රාජ්‍යයන් වෙත මෙම සම්මුතියෙහි සහතික කළ පිටපත් යැවිය හැකිය.

No comments: