Tuesday, September 23, 2008

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය

මෙම සම්මුතියට ඇතුළත් වන රාජ්‍ය පාර්ශවකරුවෝ. එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ ප‍්‍රකාශිත මුලධර්මවලට අනුව මානව පවුලේ සියලූම සාමාජිකයන්ගේ නෛසර්ගික අභිමානය සහ අන්සතු කළ නොහැකි අයිතිවාසිකම් ලෝකයේ නිදහස, යුක්තිය හා සාමය පිළිබඳ පදනම බව සැලකිල්ලට ගෙන,මේ අයිතිවාසිකම් මිනිසාගේ නෛසර්ගික අභිමානය තුළින් හට ගන්නා බව පිළිගෙන ,
මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයට අනුව නිදහස් මනුෂ්‍යයන් ලෙස බියෙන් හා අගහිඟකම්වලින් තොරව සිටීමේ නිදහස භුක්තිවිඳීමේ උතුම් අදහස සාක්ෂාත් කරගත හැක්කේ සෑම කෙනෙකුටම තම ආර්ථික,සමාජයීය හා සංස්කෘතික අයිතිවාසිකම් මෙන්ම තම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ද භුක්ති විඳීමට, හැකිවන තත්ත්වයක් ඇති කළහොත් පමණක් බව පිළිගෙන,
මානව අයිතිවාසිකම් හා බහුවිධ නිදහසට දැක්වෙන ගරුත්වය හා අනුකූලතාව සෑම තන්හිම වර්ධන කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට අයත් රාජ්‍යයන්ගේ බැඳීම සැලකිල්ලට ගෙන,අනෙක් පුද්ගලයන් සම්බන්ධයෙනුත්, තමා අයත් වන ජන කොට්ඨාශය වෙනුවෙනුත් යුතුකම් ඉටුකරලීමට ඇති පුද්ගලයා,
මෙම සම්මුතියට මඟින් පිළිගෙන තිබෙන අයිතිවාසිකම් වර්ධනය කිරීමට හා ඒවාට අනුකූලතාව දැක්වීමට ප‍්‍රයත්න දැරීමේ වගකීමට යටත්ව සිටින බවත් අවබෝධ කොටගෙන,
මතු දැක්වෙන වගන්ති සම්බන්ධයෙන් එකඟ වන්නා හ.

I වන කොටස

1 වන වගන්තිය
1. සියලූම ජාතීන්ට ස්වයංනීර්ණය පිළිබඳ අයිතිවාසිකම් ඇත. එම අයිතිවාසිකම් ප‍්‍රකාර ඔවුහු ස්වකීය දේශපාලන තත්ත්වය නිදහසේ නීරිණය කරති. එමෙන්ම ස්වකීය ආර්ථික සමාජ හා සංස්කෘතික සංවර්ධනය සලසා ගනිති.
2. අන්‍යොන්‍ය ප‍්‍රයෝජන පිළිබඳ මුලධර්ම හා ජාත්‍යන්තර නීතිය මත පදනම් වු ජාත්‍යන්තර සහයෝගය කෙරෙන් පැන නඟින බැඳීම්වලට හානියක් නොවන පරිදි, සියලූම ජාතීන්ට ඔවුන්ගේ අරමුණ ඉටුකර ගැනීම සඳහා ස්වකීය ස්වභාවික ධනය හා සම්පත් නිදහසේ කැමති පරිදි සොයා ගත හැකිය. කිසිම අවස්ථාවකදී ජාතියකට ස්වකීය යැපීම් මාර්ගය අහිමි කළ නොහැකිය.
3. ස්වයංපාලන නොවන හා භාරකාර ප‍්‍රදේශවල පරිපාලනය පිළිබඳව වගකීම දරන අය ද ඇතුළුව මෙම සම්මුතියට ඇතුළත් රාජ්‍ය පාර්ශවකරුවෝ ස්වයං නිර්ණයනය පිළිබඳ අයිතිවාසිකම ලබාදීමට අනුබල දිය යුතු අතර, එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ විධිවිධානවලට අනුව එම අයිතිවාසිකමට ගරු කළ යුතුය.

IIවන කොටස

2 වන වගන්තිය
1 මෙම සම්මුතියට ඇතුළත් ඒ ඒ රාජ්‍ය පාර්ශවකරුවෝ මෙම සම්මුතියෙහි පිළිගැනෙන අයිතිවාසිකම්වලට ගරු කිරීමටත් වර්ගය වර්ණය, ස්ත‍්‍රී පුරුෂභාවය, භාෂාව, ආගම, දේශපාලනය ආදී වෙනත් කවර භේදයක් හෝ ජාතික හෝ සමාජ සම්භවය, දේපල, උපත හෝ වෙනත් තත්වයන් කෙරෙහි කිසිදු විශේෂයක් නොමැතිව සිය දේශසීමාව ඇතුළත ද සිය අධිකරණ බල සීමාවට යටත්ව ද සියලූම පුද්ගලයන්ට උරුම වන බවට වගබලා ගැනීමටත් පොරොන්දු වෙති.
2 පවත්නා ව්‍යවස්ථාව හෝ වෙනත් වැඩ පිළිවෙළවල් අනුව එවකටත් විධිවිධාන සැලසී නොමැති විට, මෙම සම්මුතියට ඇතුළත් ඒ ඒ රාජ්‍ය පාර්ශවකරුවෝ මෙම සම්මුතියෙහි පිළිගනු ලබන එම අයිතිවාසිකම් ක‍්‍රියාත්මක කරනු සඳහා අවශ්‍ය ව්‍යවස්ථා ඇති කිරීමට හෝ වෙනත් අවශ්‍ය වැඩ පිළිවෙලවල් ඇති කිරීමට සිය ව්‍යවස්ථා පද්ධති හා මෙම සම්මුතියෙහි විධිවිධාන අනුව පියවර ගනු ලබන බවට පොරොන්දු වෙති.
3 මෙම සම්මුතියෙහි ඇතුළත් ඒ ඒ රාජ්‍ය පාර්ශවකරුවෝ මෙහි පහත දැක්වෙන කරුණු ඉටු කිරීමට පොරොන්දු වෙති.
(අ) මෙහි පිළිගනු ලැබෙන අයිතිවාසිකම් හෝ බහුවිධ නිදහස යම් පුද්ගලයකු සම්බන්ධයෙන් කඩ කරනු ලැබුවේ නම් එය රාජකාරී තත්ත්වයෙන් කටයුතු කරන පුද්ගලයන් විසින් සිදු කරනු ලැබුවේ වුවද ඒ නොතකා ඒ සම්බන්ධයෙන් කාර්ය සාධක ප‍්‍රතිකර්ම යොදනු ලබන බවට වගබලා ගැනීම.
(ආ) එබඳු ප‍්‍රතිකර්ම ඉල්ලා සිටින කවර පුද්ගලයෙකුට වුවද නිසි අධිකරණ, පරිපාලන හෝ ව්‍යවස්ථාපිත බලධාරීන් විසින් හෝ රාජ්‍යයයේ නිසි ක‍්‍රමය අනුව විධිවිධාන සැලසී තිබෙන පරිදි වෙනත් නිසි බලධාරියකු විසින් හෝ තීරණය කෙරෙන අයුරු ඒ පිළිබඳ ඔහු සතු අයිතිවාසිකම් ලැබෙන බවට වගබලා ගැනීම හා අධිකරණ ප‍්‍රතිකර්ම සැලසෙන ආකාරයෙහි කටයුතු වර්ධනය කිරීම.
(ආ) එබඳු ප‍්‍රතිකර්ම ප‍්‍රදානය කරනු ලැබු කල නිසි බලධාරීන් විසින් ඒවා ක‍්‍රියාවෙහි යොදවන බවට වග බලා ගැනීම.

3 වන වගන්තිය
මෙම සම්මුතියට ඇතුළත් රාජ්‍ය පාර්ශවකරුවෝ මෙම සම්මුතියෙහි දැක්වෙන පරිදි සියලූම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමෙහිලා ස්ත‍්‍රී පුරුෂ දෙපක්ෂයම එක සමානව අයිතිවාසිකම් ලබන බවට වගබලා ගැනීමට පොරොන්දු වෙති.

4 වන වගන්තිය
1. රටක ජාතීන්ගේ ජිවිතවලට තර්ජනයක් වන්නා වුද, එවැන්නක් පවතින බවට නිල වශයෙන් ප‍්‍රකාශිත වුද මහජන හදිසි අවස්ථාවකදී මෙම සම්මුතියට ඇතුළත් රාජ්‍ය පාර්ශවකරුවන් විසින් මෙම සම්මුතියෙහි සිය බැඳීම් හීන කරවන්නා වු වැඩ පිළිවෙලවල් එම අවස්ථාවෙහි අවශ්‍යතාව අනුව වුවමනා ප‍්‍රමාණයට පමණක් යොදා ගත හැකිය. එතෙකුදු වුවත් එම වැඩ පිළිවෙළවල් ජාත්‍යන්තර නීතිය යටතේ සිය වෙනත් වගකීම් හා නොගැලපෙන ඒවා නොවිය යුතුද හුදෙක් වර්ගය, වර්ණය, ස්ත‍්‍රී පුරුෂභාවය, භාෂාව, ආගම හෝ සමාජ සම්භවය හේතු කොට කෙරෙන්නක් නොවිය යුතු ද වේ.
2. 6,7,8 (1 හා 2 ඡේද ) 11, 15, 16 හා 10 වගන්තිවල කියැවෙන දේ හීන කරවන කිසිවක් මෙම විධිවිධාන යටතේ සිදු කළ නොහැකිය.
3. එසේ හීන කිරීමේ අයිතිය ක‍්‍රියාවේ යොදවන මෙම සම්මුතියට ඇතුළත් රාජ්‍ය පාර්ශවකරුවකු විසින් හීන කරනු ලැබු විධිවිධානයද ඊට හේතු වු කාරණා ද පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් මගින් මෙම සම්මුතියට ඇතුළත් අනිකුත් රාජ්‍ය පාර්ශවකරුවන්ට වහාම දැන්විය යුතුය. තවද එම හීන කිරීම අවසන් කරන දිනයෙහි ද ඒ ආකාරයෙන්ම ඒ බැව් දැන්විය යුතුය.

5 වන වගන්තිය
1. මෙහි පිළිගනු ලබන කිසිදු අයිතිවාසිකමක් හෝ බහුවිධ නිදහසක් විනාශ කිරීමේ යම් කාර්යයක යෙදීමට හෝ යම් ක‍්‍රියාවක් කිරීමට හෝ මෙම සම්මුතියෙහි විධිවිධාන සලසා තිබෙනවාට වඩා වැඩි ප‍්‍රමාණයකින් ඒවා සීමා කිරීමට හෝ කිසියම් රජයකට, කණ්ඩායමකට හෝ පුද්ගලයකුට අයිතිය ඇතැයි මෙම සම්මුතියෙහි සඳහන් කිසිවකින් අදහස් වන්නේ යයි අර්ථ නිරූපණය කළ නොහැකිය.
2. මෙම සම්මුතියෙන් එම අයිතිවාසිකම් පිළිගනු ලබන්නේ නැතැයි හෝ ඊට අඩු ප‍්‍රමාණයකින් පිළිගනු ලබන්නේ යයි යන අදහස පිට මෙම සම්මුතියෙහි පාර්ශවයන් වන කවර හෝ රාජ්‍යක නීතිය, සම්මුති, නියෝග හෝ චාරිත‍්‍ර ප‍්‍රකාර පිළිගනු ලැබු හෝ පවතින මුලික මානව අයිතිවාසිකම් කිසිවක් සීමා කිරීම හෝ හීන කිරීම හෝ නොකළ යුතුය.

III වන කොටස

6 වන වගන්තිය
1. සෑම මනුෂ්‍යයකුටම ජිවිතය කෙරෙහි නෛසර්ගික අයිතියක් ඇත්තේය. මෙම අයිතිවාසිකම් නීතියෙන් ආරක්ෂා කළ යුතුය. කිසිවකුගේ ජීවිතය බලහත්කාරයෙන් අහිමි නොකළ යුතුය.
2. මරණ දඬුවම අහෝසි නොකළ රටවල, මරණ දණ්ඩන නියමය, එම අපරාධ සිදු කළ අවස්ථාවෙහි පැවති නීතිය ප‍්‍රකාර, ඉතාම බරපතල අපරාධ සඳහා පමණක් මෙම සම්මුතියෙහි හා වර්ග සංහාර අපරාධ මර්දනය කිරීමේ හා දඬුවම් පැමිණවිමේ සම්මුතියෙහි විධිවිධානවලට පටහැනි නොවන ලෙස පැනවිය හැකිය. මෙම දඬුවම ක‍්‍රියාත්මක කළ හැක්කේ නිසි අධිකරණයක් විසින් දෙනු ලබන අවසාන තීරණයක් ප‍්‍රකාර පමණි.
3. ජීවිතයක් අහිමි කිරීම වර්ග සංහාර අපරාධයකින් සමන්විත වු කල, මෙම සම්මුතියට ඇතුළත් කිසිදු රාජ්‍ය පාර්ශවකරුවකුට මෙම සම්මුතියෙහි විධිවිධාන යටතේ වර්ග සංහාර අපරාධ මර්දනය කිරීම හා දඬුවම් පැමිණවීම පිළිබඳව පිළිගනු ලැබු කිසිදු වගකීමක් කවර ආකාරයකින් හෝ හීන කිරීමට මෙම වගන්තියෙහි සඳහන් කිසිවකින් බලය දෙනු නොලබන බව අවබෝධ කොට ගතයුතු වේ.
4. මරණ දණ්ඩනයට නියම වු කවර අයකුට වුවද සමාව ඉල්ලා සිටීමේ හෝ දණ්ඩනය නියමය න්‍යාදේශ කරවා ගැනීමේ හෝ අයිතිවාසිකම තිබිය යුතුය. සියලූම අවස්ථාවල රාජ්‍ය සමාව, සමාව හෝ මරණය දණ්ඩන නියමය න්‍යාදේශ කරනු ලැබීම හෝ ප‍්‍රදානය කිරීමට හැකිය.
5. මරණ දණ්ඩනය නියමය වයස අවුරුදු දහ අටට අඩු අය විසින් සිදුකළ අපරාධ සඳහා නොපැණවිය යුතුද, ගර්භණි මවුන් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක නොකළ යුතුද වේ.
6. මෙම වගන්තියෙහි සඳහන් කිසිවක් මෙම සම්මුතියට ඇතුළත් පාර්ශවයන් වන කිසිදු රාජ්‍යයක මරණ දණ්ඩනය තහනම් කිරීම ප‍්‍රමාද කරවීමට හෝ වැළැක්වීමට හෝ කවර හේතුවක් කර නොගත යුතුය.
7 වන වගන්තියකිසිම පුද්ගලයකු වධ හිංසාවකට හෝ කෲර අමානුෂික හෝ පහත් සැලකීමකට හෝ දඬුවමකට හෝ භාජනය නොකළ යුතුය. විශේෂයෙන්ම කිසිවකු ඔහුගේ ස්වාධීන අනුමැතිය නොමැතිව වෛද්‍ය හෝ විද්‍යානුකූල අත්හදා බැලීම්වලට භාජන නොකළ යුතුය.

8 වන වගන්තිය
1.කිසිම පුද්ගලයකු වහල් කමෙහි නොරැඳවිය යුතුය. සෑම ආකාරයකම වහල් වෙළෙඳාම හා වහල් භාවය තහනම් කළ යුතුය.
2. කිසිම පුද්ගලයකු දාසභාවයෙහි නොරැඳවිය යුතුය.
3.(අ) කිසිවකුට බලහත්කාරයෙන් හෝ අනිවාර්යයෙන් හෝ වැඩෙහි යෙදෙන ලෙස නියම කිරීම නොකළ යුතුය.
(ආ) අපරාධයකට දඬුවම වශයෙන් බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ හැකි රටවල එබඳු බරපතල වැඩ ඉටු කිරීමේ දඬවමක් නිසි අධිකරණයක් විසින් දෙනු ලැබ එම දණ්ඩනය නියමය අනුව නියමිත බරපතල වැඩ ඉටු කිරීම අත් හරිනු සඳහා
3 (අ) ඡේදය යොදා නොගත යුතුය.
(ඇ) මෙම ඡේදයෙහි අර්ථය සම්බන්ධයෙන් ‘බලහත්කාරයෙන් ’හෝ ’අනිවාර්යයෙන් ’ යන පදයට මෙහි පහත සඳහන් ඒවා ඇතුළත් නොකළ යුතුය.
(i) (ආ) උප ඡේදයෙහි සඳහන් නොවන්නා වුද අධිකරණයක, නීත්‍යානුකූල ආඥවක් අනුව රඳවා තිබෙන්නා වුද පුද්ගලයකුට හෝ එබඳු රැඳවුමකින් කොන්දේසි සහිතව මුදාහල පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් නියමිත වැඩ හෝ සේවය.
(ii) හමුදා ස්වරූපයෙහි යම් සේවයක් හෝ අවංකවම විරෝධය පෑම පිළිගනු ලබන රටවල අවංකව විරෝධය පාන්නන්ගෙන් නීතිය අනුව නියමිත යම් ජාතික සේවයක්.
(iii) ප‍්‍රජාවගේ ජීවිතවලට හෝ යහ පැවැත්මට හෝ තර්ජනයක් වන හදිසි අවස්ථාවලදී හෝ විපත්තියක් එළඹී අවස්ථාවලදී නියමිත කවර හෝ සේවයක්.
(iv) සාමාන්‍ය සිවිල් වගකීම්වලම කොටසක් වන කිසියම් වැඩක් හෝ සේවයක්.

9 වන වගන්තිය
1. සෑම කෙනෙකුටම පුද්ගල නිදහසට හා සුරක්ෂිතභාවයට අයිතිවාසිකම් ඇත්තේය. කිසිම කෙනෙකු අත්තනෝමතික ලෙස සිරභාරයට ගැනීම හෝ රඳවා තබා ගැනීම හෝ නොකළ යුතුය. නීතියෙහි ලා ප‍්‍රතිෂ්ඨාපිත හේතු මත සහ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම කෙනෙකුට ඔහුගේ නිදහස අහිමි නොකළ යුතුය.
2. සිරභාරයට ගනු ලබන ඕනෑම තැනැත්තෙකු ඔහු එසේ සිරභාරයට ගැනීමට හේතු සිරභාරයට ගනු ලබන අවස්ථාවෙහි දැන්විය යුතු අතර ඔහුට විරුද්ධව ඇති චෝදනා ද නොපමාව දැන්විය යුතුය.
3. සාපරාධී චෝදනාවක් මත සිරභාරයට ගනු ලබන ඕනෑම කෙනෙකු විනිශ්චයකරුවකු හෝ විනිශ්චය බලතල ක‍්‍රියාත්මක කිරීමට බලය දෙනු ලැබු වෙනත් ඕනෑම නිලධාරියකු හමුවට නොපමාව පත්කළ යුතු අතර සාධාරණ කාලයක් ඇතුළත නඩු විභාග කරනු ලැබීමට හෝ නිදහස් කරනු ලැබීමට ඔහුට හිමිකම් ඇත්තේය. නඩු විභාගයක් පොරොත්තුව සිටින තැනැත්තන් සිරභාරයෙහි තබා ගැනීම සාමාන්‍ය රීතිය නොවිය යුතුය. එහෙත් , නිදහස් කර ගැනීම නඩු විභාගයට විනිශ්චයක කෘත්‍යයෙහි දී වෙනත් ඕනෑම අවස්ථාවක සහ අවශ්‍ය වුවහොත් නඩු තීන්දුවක් ක‍්‍රියාත්මක කරන අවස්ථාවේ දී පෙනී සිටින බවට කෙරෙන සහතිකවීම්වලට යටත්ව සිදු කළ හැකිය.
4. සිරභාරයට ගැනීම හෝ රඳවා තබා ගැනීම හේතු කොට සිය නිදහස අහිමි වු ඕනෑම කෙනෙකුට, ඔහු එසේ සිරභාරයෙහි රඳවා ගැනීමේ නීත්‍යානුකූලභාවය නොපමාව තීරණය කිරීමත් එම රඳවා තබා ගැනීම නීත්‍යානුකූල නොවන්නේ නම් ඔහු මුදා හැරීමට නියෝග කිරීමත් සඳහා අධිකරණයක් ඉදිරියෙහි නීති කෘත්‍යයක් ආරම්භ කිරීමට හිමිකම් ඇත්තේය.
5. නීත්‍යානුකූල නොවන සිරභාරයට ගැනීමට හෝ රඳවා තබා ගැනීමට භාජන වු ඕනෑම කෙනෙකුට වන්දි ලබා ගැනීම සඳහා බලාත්මක කළ හැකි අයිතිවාසිකමක් ඇත්තේය.

10වන වගන්තිය
1. සිය නිදහස අහිමි කරනු ලැබු සියලූම තැනැත්තන්ට මනුෂ්‍ය දයාවෙන් සහ මිනිසාව ස්වභාවයෙන් හිමි අභිමානය පිළිබඳ ගෞරවයෙන් යුක්තව සැලකිය යුතුය.
2. විශේෂ අවස්ථාවන්හි දී හැර, චුදිත තැනැත්තන් වරදකරු කරනු නොලැබු තැතැන්තන්ගෙන් වෙන් කොට තැබිය යුතු අතර, වරදකරු කරනු නොලැබු තැතැත්තන් හැටියට ඔවුන්ගේ තත්ත්වයන්ට ගැලපෙන අන්දමට ඔවුනට වෙනම සැලකිය යුතුය.
(ආ) චුදිත බාලයන් වැඩිහිටියන්ගෙන් වෙන් කර තැබිය යුතු අතර හැකිතාක් කඩිනමින් විනිශ්චයට භාජන කළ යුතුය.
3 චරිත ශෝධනාගාර ක‍්‍රමය, සිරකරුවන් ප‍්‍රතිකාර කිරීමෙන් සමන්විත විය යුතු අතර, එහි අත්‍යාවශ්‍ය අරමුණ විය යුත්තේ ඔවුන් යහමග ගැන්වීම සහ ඔවුන්ගේ සාමාජීය පුනරුත්ථාපනයයි. බාල වරදකරුවන් වැඩිහිටියන්ගෙන් වෙන් කොට තැබිය යුතු අතර ඔවුන්ගේ වයසට හා නෛතික තත්ත්වයට අනුව නිසි ප‍්‍රතිකාර යෙදිය යුතුය.

11 වන වගන්තිය
හුදෙක් ගිවිසුම්ගත වගකීමක් ඉටු කිරීමට නොහැකි විමේ හේතුව මත කිසිම කෙනෙකු බන්ධනාගාරගත නොකළ යුතුය.

12 වන වගන්තිය
1. රාජ්‍යයක දේශය ඇතුළත නිත්‍යානුකූල සිටින සෑම කෙනෙකුටම දේශය ඇතුළත තැනින් තැන යාමටත්, සිය වාසස්ථානය තෝරා ගැනීමටත් නිදහසක් තිබිය යුතුය.
2. ඕනම කෙනෙකුට සිය රට ඇතුළුව ඕනෑම රටක් හැර යාමට නිදහස තිබිය යුතුය.
3. ඉහත සඳහන් අයිතිවාසිකම්. ජාතික ආරක්ෂාව, මහජන සාමය, මහජන සෞඛ්‍යය සහ සදාචාරය, හෝ වෙනත් අයගේ අයිතිවාසිකම් හා විවිධ නිදහස රැුක ගැනීමට ද , මේ සම්මුතියේ දී පිළිගෙන ඇති අයිතිවාසිකම්වලට ගැලපෙන්නා වු ද, නීති විධිවිධාන සලසා ඇති සීමා කිරීම්වලට හැර වෙනත් කිසිම සීමා කිරීමකට යටත් නොකළ යුතුය.
4. සිය රටට ඇතුළු වීමට තිබෙන අයිතිය කිසිම කෙනෙකුට අත්තනෝමතික ලෙස අහිම් නොකළ යුතුය.

13 වන වගන්තිය
මෙම සම්මුතියේ පාර්ශවකරුවකු වන රාජ්‍යයක දේශයෙහි නීත්‍යානුකූලව සිටින විජාතිකයකු එයින් නෙරපිය හැක්කේ නීතියට අනුකූලව එළඹෙන ලද තීරණයකට අනුව පමණක් වන අතර , ජාතික ආරක්ෂාව සඳහා බල කෙරෙන හේතු අනුව වෙනත් ආකාරයකට කළ යුතු වෙතොත් මිස සිය නෙරපීමට විරුද්ධව හේතු දැක්වීමටත්, තමා පිළිබඳ අවස්ථාව නිසි බලධාරියා හෝ නිසි බලධරයා විසින් විශේෂයෙන් නම් කරන ලද තැනැත්තකු හෝ තැනැත්තන් ලවා සමාලෝචනය කරවා ගැනීමටත් තත්කාරීය සඳහා එය ඔවුන් හමුවෙහි ඉදිරිපත් කිරීමටත් ඔහුට දිය යුතුය.

14 වන වගන්තිය
1. සියලූ දෙනාම අධිකරණ සහ විනිශ්චයාධිකරණ ඉදිරියෙහි එක සමාන වන්නාහ. සෑම කෙනෙකුටම තමාට විරුද්ධව නඟා ඇති ඕනෑම සාපරාධී චෝදනාවක් සම්බන්ධව නීතිය විසින් ප‍්‍රතිෂ්ඨාපිත ප‍්‍රවීණ , ස්වාධීන සහ අපක්ෂපාත විනිශ්චයාධිකරණයක් විසින් කරනු ලබන සාධාරණ හා ප‍්‍රසිද්ධ නඩු විභාගයකට හිමිකම් ඇත්තේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක සදාචාරය පිළිබඳ හේතු මත හෝ මහජන සාමය සඳහා හෝ ජාතික ආරක්ෂාව සඳහා හෝ පාර්ශවකරුවන්ගේ පෞද්ගලික ජිවිතයේ යහපත සඳහා හෝ අවශ්‍ය වු විට හෝ ප‍්‍රචාරයවීම යුක්ති ධර්මයේ යහපතට අගති සහගත වන විශේෂ අවස්ථාවල අධිකරණයේ මතයේ හැටියට අත්‍යවශ්‍ය වන්නා වු ප‍්‍රමාණයට හෝ ප‍්‍රවෘත්ති පත‍්‍ර හා මහජනයා සම්පුර්ණ නඩු විභාගයෙන් හෝ ඉන් කොටසකින් හෝ බැහැර කොට තැබිය හැකිය. එහෙත් සාපරාධී නඩු විභාගයකදී හෝ වෙනත් නඩු විභාගයකදී දෙන ලද තීන්දුවක්, බාලයන්ගේ යහපතට සඳහා වෙනත් ආකාරයටකට කිරීම, අවශ්‍ය වුවහොත් මිස, හෝ නීති කෘත්‍යයන් විවාහ අරගල හෝ ළමයින්ගේ භාරකාරත්වය හෝ සම්බන්ධ නම් මිස ප‍්‍රසිද්ධියට පත් කළ යුතුය.
2. සාපරාධී වරදක් සම්බන්ධයෙන් චෝදනා ලබන සෑම කෙනෙකුටම, නීතිය අනුව වරදකරු බව ඔප්පු කරනු ලබන තෙක් තමා නිර්දෝෂය යන අනුමැතිය සඳහා හිමිකම් ඇත්තේය.
3. සෑම කෙනෙකුටම තමාට විරුද්ධව ඇති සාපරාධී චෝදනාව තීරණය කරනු ලැබීමේදී පුර්ණ සම තත්ත්වයෙන් යුතුව පහත සඳහන් අවම සහතිකවීම් ලැබීමට හිමිකම් ඇත්තේය.
(අ) ඔහුට විරුද්ධව නඟා ඇති චෝදනාවේ ස්වභාවය සහ නිමිත්ත ඔහුට වැටහෙන භාෂාවකින් නොපමාව සවිස්තර ලෙස දන්වනු ලැබීමට ,
(ආ) සිය විත්ති වාචකය සුදානම් කර ගැනීමට තමාම තෝරා ගනු ලබන නීතිඥයකු හා අදහස් හුවමාරු කර ගැනීමට ප‍්‍රමාණවත් කාලය හා පහසුකම් ලැබීමට,
(ඇ) අනවශ්‍ය ප‍්‍රමාදයකින් තොරව නඩු අසනු ලැබීමට,
(ඈ) තමා ඉදිරිපිට නඩු විභාග කරනු ලැබීමට, තමා විසින් ම හෝ තමා විසින් තෝරා ගනු ලබන නීතිඥයන්ගේ සහාය ඇතිව සිය නිදහසට කරුණු දැක්වීමට, ඔහුට නීතිඥ සහාය නොමැතිව නම් මෙම අයිතිවාසිකම් ගැන දන්වනු ලැබීමට, යුක්ති ධර්මයේ යහපත සඳහා අවශ්‍ය වන්නේ නම් ඔහුට සහාය වීම සඳහා නීතිඥයකු පත් කරනු ලැබීමට සහ ඒ සඳහා ගෙවීමට ඔහුට ප‍්‍රමාණවත් මාර්ගයක් නොමැති නම් ඔහු විසින් කිසිම ගෙවීමකින් තොරව එසේ කරනු ලැබීමට,
(ඉ) ඔහුට විරුද්ධව සාක්ෂිකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමට සහ කරවීමට සහ ඔහුට නොහැකි නම් නොමිලයේ භාෂා පරිවර්තකයකුගේ සහාය ලැබීමට,
(උ) තමාට විරද්ධව සාක්ෂි දැරීමට හෝ තම වරද පිළිබඳ ෙදාා්ෂාරෝපණයක් කිරීමට ඔහුට බල කරනු නොලැබීමට.
4. බාල තැනැත්තන් සම්බන්ධයෙන් කාර්ය පටිපාටිය විය යුත්තේ ඔවුන්ගේ වයස හා ඔවුන් පුනරුත්ථාපනය කිරීමේ යෝග්‍යතාවය අනුවය.
5. අපරාධයක් සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබු සෑම කෙනෙකුටම එසේ වරදකරු කරනු ලැබු සෑම කොනකුටම එසේ වරදකරු කරනු ලැබීම සහ දඬුවම නීතියට අනුකූලව ඉහළ විනිශ්චයාධිකාරයක සමාලෝචනයට භාජනය කිරීමට අයිතිවාසිකම් ඇත්තේය.
6. යම්කිසි තැනැත්තකු අවසාන තීරණය මඟින් සාපරාධී වරදක් සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබ, පසුව, යුක්තිය ඉටු නොවී ඇති බව අලූත් හෝ අලූත සොයා ගනු ලැබු කරුණකින් තීරණාත්මකව පෙනී යාම හේතු කොටගෙන එම වරදකරු කිරීම අහෝසි කොට හෝ ඔහුට කමා කොට හෝ ඇති විට දී එබඳු වරදකරු කිරීමක් නිසා දඬුවම් විඳි තැනැත්තකුට එසේ එම කරුණු හෙළි නොවීම ඔහු නිසාම සිදුවුවක් බව ඔප්පු කරනු ලැබුව හොත් මිස නැත්නම් වන්දි ගෙවිය යුතුය.
7. යම් වරදක් සඳහා එවකටත් ඒ ඒ රටේ නීතිය හා දණ්ඩනය කාර්ය පටිපාටිය අනුව අවසාන වශයෙන් වරදකරු කරනු ලැබ හෝ නිදහස් කරනු ලැබ ඇති පුද්ගලයකු නැවත නඩු විභාග කිරීමකට හෝ දඬුවමකට හෝ යටත් නොවිය යුතුය.

15 වන වගන්තිය
1. වරද කරන අවස්ථාවෙහි දේශීය හෝ ජාත්‍යන්තර නීතිය යටතේ සාපරාධී වරදක් නොවු කිසියම් ක‍්‍රියාවක් හෝ ආකෘතියක් පිළිබඳ ඕනෑම සාපරාධී වරදකට කිසිම කෙනෙකු වරදකරු හැටියට තීරණය නොකළ යුතුය. එසේම සාපරාධී වරද කරන අවස්ථාවෙහි අදාළව තිබු දඬුවමට වඩා බරපතල දඬුවමක් ද නොපැනවිය යුතුය. වරද කිරීමෙන් පසු අවස්ථාවක, වඩා ලිහිල් දඬුවමක් පැනවීමට නීතියෙහිලා විධිවිධාන සලසනු ලැබුවහොත් වරදකරුට එහි වාසිය ලැබිය යුතුය.2. වරද කරන අවස්ථාවෙහි, ජාතීන්ගේ ප‍්‍රජාව විසින් පිළිගත් නීතියේ පොදු මුලධර්ම අනුව සාපරාධී වු යම් ක‍්‍රියාවක් හෝ ආකෘතියක් සඳහා ඕනෑම තැනැත්තකු නඩු විභාගයකට භාජන කොට ඔහුට දඬුවම් කිරීමට මෙම වගන්තියෙහි ඇති කිසිවකින් අගතියක් සිදු නොවිය යුතුය.

16 වන වගන්තිය
නීතිය ඉදිරියෙහි පුද්ගලයකු හැටියට සලකනු ලැබීමය සෑම කෙනෙකුටම අයිතියක් තිබිය යුතුය.

17 වන වගන්තිය
1. කිසිම තැනැත්තකු ඔහුගේ රහස්භාවය, පවුල, නිවස හෝ ලිපි ගනුදෙනුව සම්බන්ධව ඇඟිලි ගැසීමකට භාජන නොකළ යුතුය. එසේම නම්බුව හා කිර්ති නාමය නීති විරෝධී ප‍්‍රහාරයන්ට භාජන නොකළ යුතුය.2 එවැනි ඇඟිලි ගැසීම් හෝ ප‍්‍රහාරයන්ට විරුද්ධව නීතියේ රැකවරණය ලැබීමට සෑම කෙනෙකුටම හිමිකම් ඇත්තේය.

18 වන වගන්තිය
1. සිතිමේ , හෘද සාක්ෂිය දැරීමේ හා ආගම ඇදහීමේ නිදහස භුක්ති විඳීමේ අයිතිවාසිකම සෑම පුද්ගලයෙකුටම තිබිය යුතුය. තමාට කැමති ආගමක් ඇදහීමේ හෝ විශ්වාසයක් දැරීමේ නිදහසත් තනිවම හෝ අන්‍යයන් සමග සමුහ වශයෙන්, පෞද්ගලිකව මෙන්ම ප‍්‍රස්ද්ධියේ තම ඇදහීම් හා ආගම ප‍්‍රකට කිරීමේ, පිළි පැදීමේ වන්දනා කිරීමේ සහ ඉගැන්වීමේ නිදහසත් එයට ඇතුළත් වේ.
2. තමාට කැමති ආගමක් ඇදහීමට හෝ විශ්වාසයක් දැරීමට තිබෙන නිදහසට බාධා පමුණුවන බල කිරීමකට කිසිම කෙනෙකු භාජන නොකළ යුතුය.
3. කෙනෙකු ආගම හෝ විශ්වාසය ප‍්‍රකට කිරීමට තිබෙන නිදහස යටත් කළ හැක්කේ නීතියෙහි ලා නියමිත වුද මහජන ආරක්ෂාව, සාමය, සෞඛ්‍ය හෝ සදාචාරය රැකීමට අවශ්‍ය වන්නාවුද යම් යම් සීමාවන්ට පමණි.
4. සිය අවබෝධය අනුකූලව සිය දරුවන්ගේ ආගමික හා සදාචාරාත්මක අධ්‍යාපනය ගැන වග බලා ගැනීමට දෙමාපියන්ට තිබෙන නිදහසට ගරු කිරීමට මෙම සම්මුතියේ රාජ්‍ය පාර්ශවකරුවෝ පොරොන්දු වෙති.19 වන වගන්තිය
1. බාධාවකින් තොරව ස්වකීය මතය දැරීමට සෑම කෙනෙකුට ම අයිතිවාසිකම් ඇත්තේ ය.
2. සෑම කෙනෙකු අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ඇත්තේය. දේශ සීමාවන්ගෙන් තොරව තොරතුරු සෑම අන්දමකම අදහස් වාචිකව ,ලිඛිතව හෝ මුද්‍රතව ද චිත‍්‍රවල ආකාරයෙන් ද එසේ නැතහොත් තමාට කැමති වෙනත් ඕනෑම මාධ්‍යයකින් ද සොයා ගැනීමට, ලැබීමට සහ දැන්වීමට තිබෙන නිදහස මෙම අයිතිවාසිකමට ඇතුළත් විය යුතුය.
මෙම වගන්තියේ 2 වන ඡේදයෙහි ප‍්‍රතිපාදන අයිතිවාසිකම් ක‍්‍රියාත්මක කිරීම, විශේෂ රාජකාරී හා වගකීම හා සම්බන්ධව පවතී. එසේ හෙයින් එය ඇතැම් සීමා කිරීම්වලට යටත්විය හැකි නමුත් එම සීමා කිරීම,
(අ) අනික් අයගේ අයිතිවාසිකම් වලට හා කීර්ති නාමයන්ට ගරු කිරීම සඳහා,
(ආ) ජාතික ආරක්ෂාව හෝ මහජන සාමය හෝ මහජන සෞඛ්‍යය හා සදාචාරය හෝ රැකීම සඳහා ,
නීතියෙහි ලා විධිවිධාන සලසා ඇත්තා වුද අවශ්‍ය වන්නා වුද ඒවා විය යුතුය.

20 වන වගන්තිය
1. යුද්ධය සඳහා කෙරෙන සෑම ප‍්‍රචාරයක්ම නීතියෙන් තහනම් කළ යුතුය.
2. වෙනස්කමට, වෛරයකට හෝ සාහසික ක‍්‍රියාවලට පෙළඹවීමක් සිදුවන ජාතික, වාර්ගික හෝ ආගමික ද්වේශය පැතිරවීම නීතියෙන් තහනම් කළ යුතුය.

21 වන වගන්තිය
සාමකාමීව රැස්වීමේ අයිතිය පිළිගත යුතුය. නීතියට අනුකූලව පවත්වනු ලබන්නා වුද, ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව, මහජන සාමය සඳහා හෝ මහජන සෞඛ්‍යය හෝ සදාචාරය ආරක්ෂා කිරීම සඳහා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජයක අවශ්‍ය වන්නාවුද සීමා කිරීම් හැර මෙම අයිතිවාසිකම් ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වෙනත් කිසිම සීමා කිරීමක් නොපැනවිය යුතුය.

22 වන වගන්තිය
1. සිය අයිතිවාසිකම් යනාදිය ආරක්ෂා කර ගැනීම සඳහා සඳහා වෘත්තීය සංගම් පිහිටුවා ගැනීමටත් ඒවාට බැඳීමටත් තිබෙන අයිතිය ඇතුළුව සෑම කෙනෙකුටම අනිකුත් අය සමග සමාගමය සඳහා අයිතිය තිබිය යුතුය.
2. නීතියෙහිලා නියමිත වුද, ජාතික ආරක්ෂාව,මහජන ආරක්ෂාව, මහජන සාමය සඳහා හෝ මහජන සෞඛ්‍යය හෝ සදාචාරය ආරක්ෂා කිරීම සඳහා හෝ අනිකුත් අයගේ අයිතිවාසිකම් හා බහුවිධ නිදහස ආරක්ෂා කිරීම සඳහා හෝ ප‍්‍රජාතාන්ත‍්‍රීය සමාජයක අවශ්‍ය වන්නා වු සීමා කිරීම් හැර මෙම අයිතිවාසිකම් ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වෙනත් කිසිම සීමා කිරීමක් නොපැනවිය යුතුය.
3. මෙම වගන්තියේ සඳහන් සමාගම් පැවැත්වීමේ නිදහස හා සංවිධානය වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම පිළිබඳ ව වු 1948 ජාත්‍යන්තර කම්කරු සංවිධාන සම්මුතියේ රාජ්‍ය පාර්ශවකරුවන්ට, එම සම්මුතියේ විධිවිධාන සලසා ඇති සහතිකවීම්වලට අගති සහගත වු නෛතික පියවර ගැනීමට හෝ ඒවාට අගති සහගත වන ආකාරයකට නීතිය අදාළ කිරීමට බලය නොලැබිය යුතුය.

23 වන වගන්තිය
1. පවුල සමාජයේ ස්වභාවික මුලික සමුහ ඒකකයයි. සමාජයේ ද රාජ්‍යයේ ද රැකවරණය ලැබීමට එයට හිමිකම් ඇත්තේය.
2. විවාහ වන වයසේ සිටින ස්ත‍්‍රීන්ට හා පුරුෂයින්ට විවාහ වීමටත්, පවුලක් පිහිටුවා ගැනීමටත් තිබෙන අයිතය පිළිගත යුතුයි.
3. විවාහයට ඇතුළත් වීමට අදහස් කරන කාලාත‍්‍රයන්ගේ නිදහස් හා සම්පුර්ණ කැමැත්ත නොමැතිව කිසිම විවාහයක් සිදු නොකළ යුතුය.
4. විවාහය සම්බන්ධයෙන් එය පවත්නා කල්හි මෙන්ම එය විසුරුවා හැරීමේදී, කාලත‍්‍රයන් සම අයිතිවාසිකම් හා සම වගකීම් තිබීම පිළිබඳ ව වත්මන් සම්මුතියේ රාජ්‍ය පාර්ශ්වකරුවන් වගබලා ගත යුතුය. විවාහයක් විසුරුවා හරිනු ලබන අවස්ථාවලදී දරුවන් සඳහා තිබිය යුතු ආරක්ෂාව සඳහා විධිවිධාන සැලසිය යුතුය.

24 වන වගන්තිය
1. සෑම ළමයෙකුටම සිය වර්ගය, වර්ණය, ස්ත‍්‍රී පුරුෂභාවය, භාෂාව, ආගම, ජාතික හෝ සාමාජික සම්භවය පිළිබඳ ප‍්‍රභේදයකින් තොරව ස්වකීය පවුලෙන්, සමාජයෙන් සහ රාජ්‍යයෙන් බාල වයස්කාරයකු වශයෙන් තමාට ලැබිය යුතු රැකවරණය පියවර සඳහා අයිතිය තිබිය යුතුය. 2. සෑම ළමයකුම ඉපදුන විගසම ලියාපදිංචිය කළ යුතු අතර, නමක්ද තැබිය යුතුය.3. සෑම ළමයෙකුටම ජාතියකට අයත්වීමට අයිතියක් ඇත්තේය.

25 වන වගන්තිය
2 වන වගන්තියේ සඳහන් කිසිම ප‍්‍රභේදයකින් තොරව ද අසාධාරණ සීමා කිරීම්වලින් තොරව ද,
(අ) මහජන කටයුතු විෂයෙහිලා කෙළින්ම හෝ නිදහස්ව තෝරා ගනු ලබන නියෝජිතයන් මඟින් හෝ සහභාගී වීමට,
(ආ) නිදහස් හා සමාන ඡුන්දයෙන් සිදුකළ යුතු වුද තෝරන තැනැත්තන්ගේ නිදහස් කැමැත්ත ප‍්‍රකාශ කිරීම සහතික කෙරෙමින් රහස් ඡුන්දයෙන් පැවැත්විය යුතු වුද නිර්ව්‍යාජ වාර මැතිවරණවලදී ඡුන්දය දීමට සහ තෝරා ගනු ලැබීමට ,
(ඇ) සමානත්මභාවයේ පොදු නියමයන් මත සිය රටේ රාජ්‍ය සේවයට ඇතු`ඵ වීමට ,
සෑම පුරවැසියකුටම අයිතිය සහ අවස්ථා තිබිය යුතුය.

26 වන වගන්තිය
සියලූම තැනැත්තෝ නීතිය ඉදිරියෙහි එක සමාන වන්නාහ. තවද කිසිම ප‍්‍රභේදයකින් තොරව නීතියේ සමාන රැකවරණය ලැබීමට හිමිකම් ඇත්තෝය. මේ සම්බන්ධයෙන් ඕනෑම වෙනස්කමක් නීතියෙන් තහනම් විය යුතු අතර, වර්ණය. ස්ත‍්‍රී පුරුෂභාවය, භාෂාව, ආගම, දේශපාලන හෝ වෙනත් මත, ජාතික හෝ සාමාජීය සම්භවය, දේපල , උත්පත්තිය හෝ වෙනත් තත්ත්වයන් යන යම් හේතුවක් මත වෙනස්කම් කිරීමට විරුද්ධව සමාන සහ කාර්යසාධක රැකවරණය නීතියෙන් සහතික කළ යුතුය.

27 වන වගන්තිය
මානව වංශය , ආගම හෝ භාෂාව පදනම් වු සුළු ජන කොටස් සිටින රාජ්‍යයන්හි එම සුළු ජන කොටස්වලට අයත් තැනැත්තන්ට, සිය සමුහයේ අනිකුත් සාමාජිකයන් සමග හවුලේ, සිය සංස්කෘතිය භුක්ති විඳීමට, සිය ආගම ප‍්‍රකාශ කිරීමට සහ ඇදහීමට හෝ සිය භාෂෘව භාවිතා කිරීමට ඇති අයිතිය ප‍්‍රතික්ෂේප නොකළ යුතුය.

IV වන කොටස

28 වන වගන්තිය
1. මිනිස් අයිතිවාසිකම් කමිටුවක් පිහිටුවාලිය යුතුය. (එය මින්මතු මෙම සම්මුතියෙහි කමිටුව යනුවෙන් හඳුන්වනු ලැබේ.) එය සාමාජිකයන් දහ අට දෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර මින්මතු මෙහි ඇතුළත් ප‍්‍රතිපාදන කාර්යයන් ඉටු කළ යුතුය.
2. එම කමිටුව වත්මන් සම්මුතියේ රාජ්‍ය පාර්ශවකරුවන් ගේ වැසියන්ගෙන් සමන්විත විය යුතු අතර, එම තැනැත්තෝ උසස් චරිතයක් ඇති, මානුෂික අයිතාවාසිකම් ක්ෂේත‍්‍රයෙහි පිළිගත් ප‍්‍රවීණතාවකින් හෙබි අය විය යුත්තාහ. නෛතික පළපුරුදුකම් ඇති තැනැත්තන් කීප දෙනෙකු සහභාගීවීමේ ප‍්‍රයෝජනවත් කම ගැනද සැලකිල්ල යොමු කළ යුතුය.
කමිටුවේ සාමාජිකයන් තෝරා පත් කරගත යුතු අතර ඔවුන් සිය පෞද්ගලික තත්ත්වයෙන් සේවය කළ යුතුය.

29 වන වගන්තිය
1. කමිටුවේ සාමාජිකයන් , 28 වන වගන්තියේ නියමිත සුදුසුකම් ඇත්තා වුද තත්කාර්ය සඳහා මෙම සම්මුතියේ රාජ්‍ය පාර්ශවකරුවන් විසින් නම් කරනු ලබන්නා වුද පුද්ගලයනගේ ලැයිස්තුවකින් රහස් ඡන්දයේ මාර්ගයෙන් තෝරා පත් කර ගත යුතුය.
2. වත්මන් සම්මුතියේ එක් එක් රාජ්‍ය පාර්ශවකරු විසින් දෙදෙනකුට නොවැඩි ගණනක් නම් කළ හැකිය. මෙම තැනැත්තෝ ඔවුන් නම් කරන රාජ්‍යයේ ජාතිකයෝ විය යුත්තාහ.
3. නැවත නම් කරනු ලැබීමටද කෙනෙකු සුදුසුකම් ලබන්නේය.

30 වන වගන්තිය
1. මුලික ඡන්ද විමසීම මෙම සම්මුතිය බලාත්මක වන දිනට පසුව, හය මසක් ඉක්ම යන්නට පෙරාතුව පැවැත්විය යුතුය.
2. 34 වන වගන්තිය අනුව ප‍්‍රකාශීත පුරප්පාඩුවක් පිරවීමට පවත්වන ඡන්ද වීමසීමක් හැර කමිටුවට පත් කිරීම සඳහා පැවැත්වෙන එක් එක් ඡන්ද විමසීමේ දිනට යටත් පිරිසෙයින් සිව් මසකට පෙර, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් මෙම සම්මුතියේ රාජ්‍ය පාර්ශවකරුවන් අමතා , කමිටුවේ සාමාජිකත්වය සඳහා තුන් මසක් ඇතුළත සිය නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස ඔවුන්ට ආරාධනා කළ යුතුය.
3. නම් කරනු ලැබුවන් සහ නම් කළ රාජ්‍ය පාර්ශවකරුවන්ද සඳහන් කොට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් එසේ නම් කරනු ලැබුවන්ගේ නාමාවලිය අකාරාදී පිළිවෙලින් සකස් කළ යුතු අතර, එක් එක් ඡුන්ද විමසීමට එක් මසකට නොඅඩු කාලයකට පෙර මෙම සම්මුතියේ රාජ්‍ය පාර්ශවකරුවන් වෙත ඉදිරිපත් කළ යුතුය.
4. කමිටු සාමාජිකයන්ගේ නිලවරණය, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් එක්සත් ජාතීන්ගේ මුලස්ථානයට කැඳවනු ලබන, මෙම සම්මුතියේ රාජ්‍ය පාර්ශවකරුවන්ගේ රැස්වීමක දී පැවැත්විය යුතුය. එම රැස්වීමකදී පැවැත්විය යුතුය. එම රැස්වීමේදී ඒ සඳහා ගණ පුර්ණය වන්නේ, මෙම සම්මුතියේ රාජ්‍ය පාර්ශවකරුවන්ගෙන් තුනෙන් දෙකොටසකි. කමිටුවට තෝරා පත් කර ගනු ලබන තැනැත්තන් වන්නේ විශාලම ඡන්ද සංඛ්‍යාව සහ පැමිණ සිටිනා ඡන්දය දුන් රාජ්‍ය පාර්ශවකරුවන්ගේ බහුතර ඡන්දය ලැබු අයය.

31 වන වගන්තිය
1. කමිටුවට එකම රාජ්‍යයෙන් එක ජාතිකයකුට වඩා සිටිය නොහැකිය.
2. කමිටුවට සාමාජිකයන් තෝරා පත්කර ගැනීමේදී සාමාජිකත්වය සාධාරණ පරිදි භූගෝලිය ලෙස බෙදී පැවතීමත් විවධාකාර ශිෂ්ඨාචාර සහ ප‍්‍රධාන නීති පද්ධති නියෝජනය වීමත් ගැන සැලකිලිමත් විය යුතුය.

32 වන වගන්තිය
1. කමිටුවේ සාමාජිකයන් සිව් අවුරුදු කාල පරිච්ඡේදයක් සඳහා තෝරා පත්කර ගත යුතුය. නැවත නම් කරනු ලැබුවහොත් ඔවුහු නැවත තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සෝ වන්නාහ. එසේ වුවද පළමුවන ඡන්ද විමසීමේදී තෝරා පත් කරගනු ලබන සාමාජිකයන් නව දෙනෙකුගේ නිල කාලය දෑවුරුද්දක් අවසානයේදී අවසන් විය යුතුය. පළමු වන ඡුන්ද විමසීම අවසන් වු වහාම මෙම සාමාජිකයන් නව දෙනා 30 වන වගන්තියේ 4 වන ඡේදයේ සඳහන් රැස්වීමේ සභාපති විසින් කුසපත් ඇදීමෙන් තෝරා ගත යුතුය.
2. නිල කාලය අවසානයේ පවත්වන ලද ඡන්ද විමසීම් මෙම සම්මුතියේ මෙම කොටසේ කලින් දැක්වෙන වගන්තිවලට අනුව පැවැත්විය යුතුය.

33 වන වගන්තිය
1. කමිටුවේ සාමාජිකයකු තාවකාලිකව නොපැමිණීම හැරුණු විට වෙනත් හේතුවක් නිසා ඔහුගේ කටයුතු කිරීම අවසන් වී ඇති බව අනෙක් සාමාජිකයනගේ එ්කමතික තීරණය වන්නේ නම්, කමිටුවේ සභාපති විසින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වෙත දැනුම් දිය යුතු අතර, ඔහු විසින් එවිට සාමාජිකයාගේ අසුන පුරප්පාඩු වී ඇති බව පූකාශයට පත් කළ යුතුය.
2. කමිටුවේ සාමාජිකයකු මියගිය හොත් හෝ ඉල්ලා අස් වුවහොත් හෝ ඒ බව සභාපති විසින් එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ට වහාම දැනුම් දිය යුතු අතර, මරණය සිදු වු දිනයේ හෝ ඉල්ලා අස්වීම ක‍්‍රියාත්මක වු දිනයේ සිට එම අසුන පුරප්පාඩු වු බව ප‍්‍රකාශයට පත්කළ යුතුය.

34 වන වගන්තිය
1. පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව 33 වැනි වගන්තියට අනුව ප‍්‍රකාශයට පත් කරනු ලැබු විට, අලූතෙන් සාමාජිකයකු පත් කළ යුතු වුයේ යම් සාමාජිකයකු වෙනුවෙන් නම් එම සාමාජිකයාගේ නිල කාලය, පුරප්පාඩුව ප‍්‍රකාශයට පත් කොට මාස හයක් ඇතුළත අවසන් නොවේ නම්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් මේ සම්මුතියට අයත් වන එක් එක් රාජ්‍ය පාර්ශවකරුට දැනුම් දිය යුතු අතර ,පුරප්පාඩු පිරවීම සඳහා 29 වන වගන්තියට අනුව මාස දෙකක් ඇතුළත නාමයෝජනා ඉදිරිපත් කිරීමට එම රාජ්‍යයට හැකිය.
2. මෙසේ නාමයෝජනා කරනු ලබන තැනැත්තන්ගේ නම් අකාරාදී පිළිවෙලට සඳහන් වන ලැයිස්තුවක් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් තුමා විසින් සකස් කළ යුතු අතර ,එය මේ සම්මුතියට අයත්වන රාජ්‍ය පාර්ශවකරුවන් වෙත ඉදිරිපත් කළ යුතුය. එවිට පුරප්පාඩු පිරවීම සඳහා වු ඡුන්දය මෙම සම්මුතියේ මේ කොටසෙහි අදාළ විධිවිධානයන්ට අනුව පැවැත්විය යුතුය.
3. 33 වැනි වගන්තියට අනුව ප‍්‍රකාශයට පත් කරනු ලැබු පුරප්පාඩුවක් පිරවීම සඳහා පත් කරනු ලැබු කමිටුවේ සාමාජිකයකු, එම වගන්තියේ විධිවිධාන යටතේ කමිටුවේ අසුන හැර ගිය සාමාජිකයාගේ ඉතරි නිල කාලය සඳහා නිලය දරන්නේය.

35 වන වගන්තිය
කමිටුවේ සාමාජිකයන්ට, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අනුමැතියට යටත්ව කමිටුවේ වගකීම් වල වැදගත්කම අනුව සලකා මහා මණ්ඩලය විසින් තීරණය කරනු ලබන කොන්දේසීවලට සහ නියමයන්ට අනුව එක්සත් ජාතීන්ගේ සම්පත් වලින් පඩිනඩි ලැබිය යුතුය.

36 වන වගන්තිය
මේ සම්මුතිය යටතේ කමිටුවේ කාර්ය කාර්යක්ෂමව සපුරාලීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය සහ පහසුකම් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් සපයා දිය යුතුය.

37 වන වගන්තිය
1. කමිටුවේ ආරම්භක රැස්වීම එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින්, එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේදී කැඳවිය යුතුය.
2. ආරම්භක රැස්වීමෙන් පසුව , කමිටුවේ කාර්ය පටිපාටියට අයත් රීතිවල විධිවිධාන සලස්වනු ලබන අවස්ථාවලදී රැස්විය යුතුය.
3. කමිටුව සාමාන්‍යයෙන් රැස්විය යුත්තේ එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ හෝ ජීනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේය.

38 වන වගන්තිය
කමිටුවේ සෑම සාමාජිකයකු ම, තම රාජකාරී කටයුතු භාර ගැනීමට කලින්, තම කාර්යයන් අපක්ෂපාතව සහ අවංකව ඉටු කරන බවට ගම්බීර ප‍්‍රකාශයක් විවෘත කමිටුවේදී කළ යුතුය.

39 වන වගන්තිය
1. කමිටුව විසින් කමිටුවේ නිලධාරීන් පත් කරගත යුතතේ අවුරුදු දෙකක කාලයකටය. ඔවුන් නැවත වරක් පත් කරගනු ලැබිය හැකිය.
2. කමිටුව විසින් තමන්ගේම කාර්ය පටිපාටි රීති සකස් කරගත යුතු නමුත්, මෙහි රීති මගින් වෙනත් දේ අතර ,
(අ) ඝණ පුර්ණය සාමාජිකයන් දොළසක් විය යුතු බවටත්,
(ආ) කමිටුවේ තීරණ, පැමිණ සිටියා වු සාමාජිකයන්ගේ වැඩි ඡන්දයෙන් කළ යුතු බවටත් , විධිවිධාන සැලැස්විය යුතුය.

40 වන වගන්තිය
මේ මඟින් පිළිගෙන ඇති අයිතිවාසිකම් ක‍්‍රියාත්මක කිරීම සඳහා යොදාගෙන අත්තා වු පියවර සහ එම අයිතිවාසිකම් භුක්ති විඳීම සම්බන්ධව ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳ වාර්තා,
(අ) අදාළ රාජ්‍ය පාර්ශවකරුවන් සම්බන්ධයෙන් මෙම සම්මුතිය ක‍්‍රියාත්මක වීමෙන් එක අවුරුද්දක් ඇතුළත ද,
(ආ) ඉන් පසුවද, කමිටුව එසේ ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක ද,
ඉදිරිපත් කිරීමට මේ සම්මුතියට අයත් රාජ්‍ය පාර්ශවකරුවෝ පොරොන්දු වෙති.
2. සියලූම වාර්තා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වෙත ඉදිරිපත් කළ යුතු අතර, සලකා බැලීම සඳහා ඔහු විසින් ඒවා කමිටුව වෙත යැවිය යුතුය. මේ ගිවිසුම ක‍්‍රියාත්මක කිරීම කෙරෙහි බලපාන සාධක සහ දුෂ්කරතා තිබේ නම්, ඒවා වාර්තාවල සඳහන් විය යුතුය.
3. වාර්තාවලින් විශේෂිත ආයතනවල කාර්ය ක්ෂේත‍්‍රයට ඇතුළත් වන කොටස් වල පිටපත් කමිටුව සමග සාකච්ඡා කිරීමෙන් පසුව එම ආයතනවලට යැවීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට හැකිය.
4. මේ සම්මුතියට අයත්වන රාජ්‍ය පාර්ශවකරුවන් විසින් ඉදිරපත් කරනු ලබන වාර්තා කමිටුව විසින් අධ්‍යනය කළ යුතුය. තම වාර්තා ද අදාළ යැයි කමිටුව සලකන පොදු අදහස් ද එය විසින් රාජ්‍ය පාර්ශවකරුවන් වෙත යැවිය යුතුය. මේ අදහස් මේ සම්මුතියට අයත් වන රාජ්‍ය පාර්ශවකරුවන්ගෙන් ලැබුණු වාර්තාවල පිටපත් සමඟ ආර්ථික හා සාමාජික මණ්ඩලය වෙත යැවීමටද කමිටුවට හැකිය.
5. මේ වගන්තිය යටතේ 4 වැනි ඡේදයට අනුව දක්වනු ලැබිය හැකි අදහස් පිළිබඳ නිරීක්ෂණයන්ද කමිටුව වෙත ඉදිරිපත් කිරීමට මේ සම්මුතියට අයත් වන රාජ්‍ය පාර්ශවකරුවන්ට හැකිය.

41 වන වගන්තිය
1. අන්‍ය රාජ්‍ය පාර්ශවකරුවෙකු මේ සම්මුතියට යටතේ සිය බැඳීම් ඉටු නොකරන බවට යම් රාජ්‍ය පාර්ශවකරුවකු කියා සිටින බවට ඉදිරිපත් කෙරෙන ලියවිල්ලක් භාර ගැනීමට සහ සලකා බැලීමට කමිටුවක් ඇති ප‍්‍රවිණතාව තමන් විසින් පිළි ගන්නා බව මේ වගන්තිය යටතේ ඕනෑම අවස්ථාවක ප‍්‍රකාශ කිරීමට මේ සම්මුතියට අයත් වන රාජ්‍ය පාර්ශවකරුවකුට හැකිය. මේ වගන්තිය යටතේ වු ලියවිලි පිළිගනු සහ සලකා බලනු ලැබිය හැක්කේ, කමිටුවේ ප‍්‍රවීණතාව පිළි ගනිමින් ප‍්‍රකාශයක් කර ඇති රාජ්‍ය පාර්ශ්වකරුවකු විසින් ඉදිරිපත් කර ඇත්නම් පමණි.එබඳු ප‍්‍රකාශයක් කර නැති රාජ්‍ය පාර්ශවකරුවකුට අදාළ කිසිම ලියවිල්ලක් කමිටුව විසින් පිළි නොගත යුතුය. මේ වගන්තිය යටතේ ලැබෙන ලියවිලි ගැන කටයුතු කළ යුත්තේ පහත දැක්වෙන කාර්ය පටිපාටියට අනුවය.
(අ) අන්‍ය රාජ්‍ය පාර්ශවකරුවකු මේ සම්මුතියේ විධිවිධාන ක‍්‍රියාත්මක නොකරන බව, මේ සම්මුතියට අයත් රාජ්‍ය පාර්ශ්වකරුවකු විසින් සලකනු ලැබේ නම්,එම කාරණය ලියවිල්ලක් මඟින් රාජ්‍ය පාර්ශ්වකරුගේ අවධානයට යොමු කිරීමට එම පාර්ශ්වකරුට හැකිය.
අදාළ කාරණය සම්බන්ධයෙන් යොදාගෙන ඇත්තා වු, යොදා ගැනීමට තිබෙන්නා වු සහ යොදාගත හැකි වු ප‍්‍රතිකර්ම සහ අභ්‍යන්තර කාර්ය පටිපාටිය පිළිබඳ සහනයක් හැකි තරමට සහ අදාළ තරමට ඇතුළත් වන කාරණය පිළිබඳ විස්තරයක් හෝ එය පැහැදිලි කෙරෙන වෙනත් ප‍්‍රකාශයක් හෝ ලියවිල්ලක් ලැබීමෙන් මාස තුනක් ඇතුළත, ලියවිල්ල ලැබුණූ රාජ්‍යය විසින් ලියවිල්ල එවු රාජ්‍යයට ලබා දිය යුතුය.
(අ) ලියවිල්ල ලබන රාජ්‍යයට මුලි ලියවිල්ල ලැබීමෙන් පසු මාස හයක් ඇතුළත රාජ්‍යය පාර්ශවකරුවන් දෙගොල්ලන්ම සෑහීමට පත්වන පරිදි කාරණය හරිගස්වා නොගතහොත්, කම්ටුවට සහ අනෙක් රාජ්‍යයට දෙන නිවේදනයක් මඟින්, කාරණය කමිටුව වෙත ඉදිරිපත් කිරීමට එක් එක් රාජ්‍යයට හිමිකම් ඇත්තේය.
(ආ)කමිටුව වෙත යොමු කරන ලද කාරණයක් ගැන එය විසින් කටයුතු කළ යුත්තේ, පොදුවේ පිළිගත් අන්තර් ජාතික නීතියේ මුලධර්මවලට අනුව, කාරණයට අදාළ අභ්‍යන්තර ප‍්‍රතිකර්ම සියල්ලක්ම උපයෝගී කොට ගෙන සහ ඒ සියල්ලක්ම අවසන්ව ඇති බවත් සොයා බැලීමෙන් පසුව පමණකි. ප‍්‍රතිකර්ම යොදවා ගැනීම සාධාරණ අන්දමින් දිග්ගැස්සුණු අවස්ථාවල දී අනුගමනය කරන රීතිය මෙය නොවිය යුතුය.
(ඇ) මේ වගන්තිය යටතේ ලියවිලි පරීක්ෂා කරන විට, කමිටුව විසින් පැවැත්විය යුතතේ සංවෘත රැස්වීම්ය.
(ඉ) මේ සම්මුතියේ පිළිගෙන ඇති පරිදි මානව අයිතිවාසිකම් වලට සහ බහුවිධ මුලික නිදහසට ඇති ගෞරවය පදනම් කොටගෙන කාරණය මිත‍්‍ර ලීලාවෙන් විසඳ ගැනීමේ අරමුණ ඇතිව, කමිටුව විසින්තම නිල තත්ත්වයේ ප‍්‍රයෝජන (ඇ) උප ඡේදයේ විධිවිධානයන්ට යටත්ව රාජ්‍ය පාර්ශ්වකරුවන්ට ලබාදිය යුතුය.
(ඊ) කමිටුව වෙත යොමු කරනු ලැබු කාරණයක් සම්බන්ධයෙන් , අදාළ තොරතුරු සපයන ලෙස(ඈ) උප ඡේදයෙහි සඳහන් වන රාජ්‍ය පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටීමට කමිටුවට හැකිය.
(උ) කාරණය කමිටුවේ ද සාකච්ඡා වන විට, නියෝජනය කරනු ලැබීමේ සහ වාචිකව සහ / හෝ ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමේ අයිතිය (ආ) උප ඡේදයේ සඳහන් රාජ්‍ය පාර්ශවකරුවන්ට තිබිය යුතුය.
(ඌ) (ආ) උප ඡේදයෙහි නිවේදනයක් ලැබුණු දිනයෙන් පසු මාස දොළහක් ඇතුළත කමිටුව විසින් වාර්තාවක් ඉදිරිපත් තළ යුතුය.
(ii) (ඉ)උප ඡේදයෙහි කොන්දේසි ප‍්‍රකාර විසඳුමක් ඇති කරගනු ලැබුවහොත් කමිටුව විසින් තම වාර්තාව කරුණු පිළිබඳ සහ විසඳුම පිළිබඳ කෙටි ප‍්‍රකාශයකට සීමා කළ යුතුය.
අදාළ රාජ්‍ය පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත සැල කිරීම් සහ වාචික සැලකිරීම් වාර්තාගත සටහන් පත‍්‍රයට වාර්තාවට අමුණා යැවිය යුතුය. හැම කරුණක් සම්බන්ධයෙන් ම වාර්තාව අදාළ රාජ්‍ය පාර්ශවකරු වෙත යැවිය යුතුය.
2. මේ වගන්තියේ විධිවිධාන , මේ සම්මුතියට අයත්, රාජ්‍ය පාර්ශවකරුවන් දහයක් මේ වගන්තියේ 1 වැනි ඡේදය යටතේ කරන ලද ප‍්‍රකාශයක් කරනු ලැබු විට, වලංගු බවට පත් වන්නේය. එම ප‍්‍රකාශ රාජ්‍ය පාර්ශවකරුවන් විසින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වෙත තැන්පත් කර තිබිය යුතු අතර, එහි පිටපත් ඔහු විසින් අනෙක් රාජ්‍යයන් වෙත යැවිය යුතුය. යම් ප‍්‍රකාශයක් මහ ලේකම් වෙත කරන නිවේදනයක් මඟින් ඉල්ලා අස්කර ගත හැකිය. එසේ ඉල්ලා අස්කර ගැනීම හේතු කොට ගෙන මේ වගන්තිය යටතේ එ් වනවිටත් යවා තිබුණු ලියවිල්ලක විෂය කරුණු වු යම් කාරණයක් ගැන සලකා බැලීම කෙරේ හානියක් නොවිය යුතුය. අදාළ රාජ්‍ය පාර්ශවකරු අලූත් ප‍්‍රකාශයක් කර තිබුණේ නම් මිස, ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමේ නිවේදනය මහ ලේකම් වෙත ලැබීමෙන් පසුව කිසිම රාජ්‍ය පාර්ශවකරුවකු විසින් ඉදිරිපත් කෙරෙන තවත් ලියවිල්ලක් භාර නොගත යුතුය.

42 වන වගන්තිය
1. (අ) 41 වැනි වගන්තියට අනුව කමිටුව වෙත යොමු කරනු ලැබු කාරණයක අදාළ රාජ්‍ය පාර්ශවකරුවන් සෑහීමට පත්වන හැටියට විසඳගනු නොලැබුනොත්, අදාළ රාජ්‍ය පාර්ශවකරුවන්ගේ පුර්ව කැමැත්ත ඇතිව, (මෙහි මින්මතු කොමිෂන් සභාව යනුවෙන් හඳුන්වන ලබන) තත්කාර්ය, සමාදාන කොමිෂන් සභාවක් පත් කිරීමට කම්ටුවට හැකිය. මේ සම්මුතියට ඇති ගෞරවය පදනම් කොට ගෙන, කාරණය පිළිබඳ මිත‍්‍ර ලීලාවෙන් බේරුමක් සඳහා කොමිෂන් සභාවේ නිල තත්ත්වයේ වාසිය ලබාදිය යුතුය.
(ආ) කොමිෂන් සභාව, රාජ්‍ය පාර්ශවකරුවන්ට පිළිගත හැකි පුද්ගලයන් පස් දෙනෙකුගෙන් සමන්විත විය යුතුය. මුළු කොමිෂන් සභාව ම හෝ කොමිෂන් සභාවෙන් කොටසක් හෝ සමන්විත විය යුතු අය ගැන තුන් මාසයක් ඇතුළත එකඟත්වයට පැමිණීමට අදාළ රාජ්‍ය පාර්ශවකරුවන්ට නොහැකිවුවහොත්, එකඟත්වයට එළඹීමට නොහැකි වුයේ කොමිෂමේ යම් යම් සාමාජිකයන් සම්බන්ධයෙන් නම්, එම සාමාජිකයන් කමිටුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන්, කම්ටුවේ සාමාජිකයන් අතුරෙන් රහස් ඡන්දයෙන් පත් කරගතයුතුය.
2. කොමිෂන් සභාවේ සාමාජිකයන් කටයුතු කළ යුත්තේ පෞද්ගලික තත්ත්වයෙනි. ඔවුන් අදාළ පාර්ශවකාර රාජ්‍යක හෝ යම් සම්මුතියට පාර්ශවකරුවකු නොවන රාජ්‍යයක හෝ 41 වැනි වගන්තිය යටතේ ප‍්‍රකාශයක් කර නැති පාර්ශවකාර රාජ්‍යක හෝ රටවැසියෙකු නොවිය යුතුය.
3. කොමිෂන් සභාව විසින් සිය සභාපතිවරයා පත් කරගත යුතු අතර, සිය කාර්යපටිපාටිය ද සම්මත කරගත යුතුය.
4. කොමිෂන් සභාවේ රැස්වීම් සාමාන්‍යයෙන් පැවැත්විය යුත්තේ එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ හෝ ජිනීවා එක්සත් ජාතීන්ගේ කාර්යාලයෙහිය. එතෙකුදු වුවද, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හා අදාළ රාජ්‍ය පාර්ශවකරුවන් සමග සාකච්ඡා කොට කොමිෂන් සභාව තීරණය කරන වෙනත් සුදුසු ස්ථානවලද රැස්වීම් පැවැත්විය හැකිය.
5. 36 වැනි වගන්තිය අනුව ඇති කරන ලද ලේකම් කාර්යාලය , මේ වගන්තිය යටතේ පත් කරන ලද කොමිෂන් සභාවලටද සේවය කළ යුතුය.
6. කම්ටුව වෙත ලැබුණා වු සහ එය විසින් සසඳා බලන ලද්දා වු තොරතුරු කොමිෂන් සභාවට ලබාදිය යුතු අතර, වෙනත් අදාළ තොරතුරු තිබේ නම්, ඒවා සපයා දෙන ලෙස රාජ්‍ය පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා යැවීමට කොමිෂන් සභාවට හැකිය.
7. කාරණය කොමිෂන් සභාව විසින් සම්පුර්ණයෙන්ම සලකා බලනු ලැබීමෙන් පසුව, එනමුත් කාරණය ගැන දන්වනු ලැබීමෙන් මාස ෙදාළහක් ඉකුත්වීමට කලින්, අදාළ රාජ්‍ය පාර්ශවකරුවන් වෙත යැවීම සඳහා වාර්තාවක්, කොමිෂන් සභාව විසින් කමිටුවේ සභාපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය.
(අ) කාරණය සලකා බැලීම මාස ෙදාළහක් ඇතුළත අවසන් කිරීමට කොමිෂන් සභාවට නොහැකි නම් , සිය වාර්තාව කාරණය සලකා බැලීම පවතින්නේ කුමන තත්ත්වයක ද යන බව පිළිබඳ කෙටි ප‍්‍රකාශයකට සීමා කළ යුතුය.
(ආ) මේ සම්මුතිය මඟින් පිළිගෙන ඇති මානව අයිතිවාසිකම්වලට ඇති ගෞරවය පදනම් කොටගෙන කාරණය පිළිබඳ සුහද විසඳුමකට එළඹුනහොත් , කොමිෂන් සභාව විසින්, සිය වාර්තාව, සිද්ධි සහ එළඹි විසඳුම පිළිබඳ කෙටි ප‍්‍රකාශයකට සීමා කළ යුතුය.
(ඇ) (ආ) වැනි උප ඡේදයෙහි කොන්දේසී ප‍්‍රකාර විසඳුමක් ඇති කරගනු නොලැබුනහොත් අදාළ රාජ්‍ය පාර්ශවකරුවන් අතරේ පවත්නා විසඳිය යුතු ප‍්‍රශ්ණවලට සම්බන්ධ සිද්ධි පිළිබඳ සියලූම ප‍්‍රශ්න සම්බන්ධ සිය තීරණය ද සුහද විසඳුමක් ඇති කර ගැන්මට ඇති හැකියාව පිළිබඳ සිය මතය ද කොමිෂන් සභාවේ වාර්තාවේ ඇතුළත් විය යුතුය. අදාළ රාජ්‍ය පාර්ශ්වකරුවන් විසින් කරන ලද ලිඛිත සැලකිරීම් සහ වාචික සැලකිරීම් වාර්තා ලේඛනයක් ද මේ වාර්තාවේ අඩංගු විය යුතුය.
(ඇ) කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවේ(ඇ) උප ඡේදයේ යටතේ නම්, තමන් කොමිෂන් සභාවේ වාර්තාවේ ඇතුළත් කරුණු පිළි ගන්නවාද නැද්ද යන බව වාර්තාව ලැබී මාස තුනක් ඇතුළත, අදාළ පාර්ශවකරුවන් විසින් කමිටුවේ සභාපති වෙත දැනුම් දිය යුතුය.
8. මේ වගන්තියේ විධිවිධාන හේතු කොට ගෙන 41 වැනි වගන්තිය යටතේ කමිටුවේ වගකීම්වලට හානියක් නොවිය යුතුය.
9. කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ වියදම්, එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින් සකස් කරනු ලබන ඇස්තමේන්තුවලට අනුව, අදාළ රාජ්‍ය පාර්ශවකරුවන් අතර සමසේ බෙදා හැරිය යුතුය.
10. මේ වගන්තියේ 9 වැනි ෙඡ්දයට අනුව අදාළ රාජ්‍ය පාර්ශවකරුවන් විසින් ප‍්‍රති පුර්ණය කිරීමට කලින් වියදම ගෙවීමට අවශ්‍ය නම් කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ ගාස්තු ගෙවීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බලය ඇත්තේය.

43 වන වගන්තිය
කමිටුවේ ද, 42 වැනි වගන්තිය යටතේ පත් කරනු ලැබිය හැකි තත්කාර්ය සාමදාන කොමිෂන් සභාවල සාමාජිකයන්ට ද, එක්සත් ජාතීන්ගේ වරප‍්‍රසාද සහ විශේෂ මුක්ති පිළිබඳ ගිවිසුම්වලට අදාළ කොටස්වල නියම කොට ඇති පරිද එක්සත් ජාතීන්ගේ දුත මණ්ඩලවල නියුතු විශේෂඥයන්ට හිමි පහසුකම්, වරප‍්‍රසාද සහ සේවා මුක්ති යන දේවලට හිමිකම් ඇත්තේය.

44 වන වගන්තිය
මේ වගන්තිය ක‍්‍රියාත්මක කිරීම සඳහා වු විධිවිධාන, එක්සත් ජාතීනගේ සංස්ථාපන නීත්‍යානුකූල ලේඛන සහ සම්මුති මඟින් හෝ යටතේ හෝ මානව අයිතිවාසිකම් ක්ෂේත‍්‍රයෙහි නියම කොට ඇත්තා වු කාර්ය පටිපාටිවලට හානියක් නොවන ආකාරයට වලංගු විය යුතු අතර, තම තමන් අතරේ වු පොදු හා විශේෂ අන්තර්ජාතික ගිවිසුම්වලට අනුව ආරවුලක් සමථයකට පත් කිරීම සඳහා වු සෙසු කාර්ය පටිපාටි උපයෝගී කර ගැනීමෙන් මෙ සම්මුතියට අයත් වන රාජ්‍ය පාර්ශවකරුවන් වැළාක්වීමක් ද නොවිය යුතුය.

45 වන වගන්තිය
තම කටයුතු පිළිබඳ වාර්තාවක්, කමිටුව විසින් ආර්ථික හා සමාජයීය මණ්ඩලය මගින් එක්සත් ජාතීන්ගේ මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය.
v වන කොටස

46 වන වගන්තිය
මෙම සම්මුතිය යටතේ සලකා බැලෙන කාරණා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විවිධ ආයතනවල හා විශේෂිත ආයතනවල ඒ ඒ වගකීම් විග‍්‍රහ කෙරෙන එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියෙහි හා විශේෂිත ආයතනවල ව්‍යවස්ථාවන්හි කියැවෙන විධිවිධාන කිසිවකට මෙම සම්මුතියෙහි සඳහන් කිසිවක් නිසා හානියක් සිදුවන්නේ යයි අර්ථ නිරූපණය කොට නොගත යුතුය.

47 වන වගන්තිය
තමන්ගේ ස්වභාවික ධනය හා සම්පත් සම්පුර්ණයෙන් ද නිදහසින් යුතුව ද භුක්ති විඳීමෙහි හා ප‍්‍රයෝජනයට ගැනීමෙහිලා සියලූ ජාතීන් සතු නෛසර්ගික අයිතියට මෙම සම්මුතියෙහි සඳහන් කිසිවක් නිසා හානි සිදුවන්නේ යයි අර්ථ නිරූපණය කොට නොගත යුතුය.

48 වන වගන්තිය
1. මෙම සම්මුතියෙහි එක්සත් ජාතීන්ගේ කිසියම් රාජ්‍ය සාමාජිකයකු හෝ එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතන කිසිවක සාමාජිකයකු හෝ අන්තර් ජාතික අධිකරණ ව්‍යවස්ථාවෙහි රාජ්‍ය පාර්ශවකරුවකු හෝ මෙම සම්මුතියට පාර්ශවකරුවකු වන ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ආරාධනා කරනු ලැබු වෙනත් කිසියම් රාජ්‍යයක් හෝ විසින් අත්සන් කරනු ලැබීම සඳහා විවෘතව පවත්නේය.
2. මෙම සම්මුතියට ස්ථිර කරනු ලැබීමට යටත් වන්නේය. ස්ථිර කිරීමේ නිත්‍යානුකූල ලේඛන එක්සත් ජාතීන්ගේ මහලේකම් වෙත භාරදිය යුතුය.
3. මෙම සම්මුකිය මෙම වගන්තියේ 1 වැනි ඡේදයෙහි සඳහන් වන කවර රාජ්‍යයක් විසින් වුවද ඇතුළත් වීම සඳහා විවෘතව පැවතිය යුතුය.
4. එක්සත් ජාතීන්ගේ මහලේකම් වෙත ඇතුළත් වීමේ නිත්‍යානුකූල ලේඛනයක් භාරදීමෙන් අනුමැතිය ක‍්‍රියාත්මක කළ යුතුය.5. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් මෙම සම්මුතිය අත්සන් තැබු හෝ ඊට ඇතුළත් වු සියලූම රාජ්‍යයන්ට ස්ථිර කිරීමේ හෝ ඇතුළත්වීමේ ඒ ඒ නීත්‍යානුකූ ලේඛන සම්බන්ධයෙන් දැනුම් දිය යුතුය.

49 වන වගන්තිය
1. මෙම සම්මුතිය ස්ථීර කිරීමේ නීත්‍යානුකූල ලේඛනය හෝ ඇතළත් වීමේ නීත්‍යානුකූල ලේඛනය යන මෙවායින් තිස්පස් වැනි ලේඛනය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වෙත භාර දෙනු ලැබු දිනයෙහි සිට තෙමසක් ඉක්ම යාමෙන් පසු බලාත්මක විය යුතුය.
2. තිස්පස් වැනි ස්ථීර කිරීමේ නීත්‍යානුකූල ලේඛනය හෝ ඇතළත් වීමේ නීත්‍යානුකූල ලේඛනය යන මෙවායින් තිස්පස් වැනි ලේඛනය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වෙත භාර දෙනු ලැබු දිනයෙහි සිට තෙමසක් ඉක්ම යාමෙන් පසු බලාත්මක විය යුතුය.
3. තිස්පස් වැනි ස්ථීර කිරීමේ නීත්‍යානුකූල ලේඛනය හෝ ඇතළත් වීමේ නීත්‍යානුකූල ලේඛනය භාරදෙනු ලැබීමෙන් පසු මෙම සම්මුතියට ස්ථිර කරන හෝ ඊට ඇතුළත්වන ඒ ඒ රාජ්‍යයන් සම්බන්ධයෙන් එම රාජ්‍ය තම තමන්ගේ ස්ථීර කිරීමේ නීත්‍යානුකූල ලේඛනය හෝ ඇතුළත්වීමේ නීත්‍යානුකූල ලේඛනය භාර දෙනු ලැබු දිනයෙහි සිට තෙමසක් ඉක්ම යාමෙන් පසු මෙම සම්මුතිය බලාත්මක විය යුතුය.

50 වන වගන්තිය
මෙම සම්මුතියෙහි විධිවිධාන සීමාවන්ගෙන් හෝ ව්‍යතිරේකයන්ගෙන් හෝ තොරව ඒකාබද්ධ රාජ්‍යවල සියලූම කොටස් කෙරෙහි අදාළ විය යුතුය.

51 වන වගන්තිය
1. මෙම සම්මුතියෙහි කවර හෝ රාජ්‍ය පාර්ශවකරුවකු විසින් සංශෝධන යෝජනා කොට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වෙත ඉදිරිපත් කළ හැකිය. එවිට මහ ලේකම් , එම යෝජනා සලකා බලා, ඒ ගැන ඡන්ද විමසනු සඳහා ,රාජ්‍ය පාර්ශවකරුවන්ගේ සම්මේලනයක් පැවැත්වීම අවශ්‍ය ලෙස සලකන්නේදැයි තමාට දන්වන ලෙස ඉල්ලූම් කොට ඒ සමඟ මෙම සම්මුතියෙහි රාජ්‍ය පාර්ශවකරුවන් වෙත එම යෝජිත සංශේධන බෙදා හැරිය යුතුය. රාජ්‍ය පාර්ශවකරුවන්ගෙන් යටත් පිරිසෙයින් තුනෙන් එකක් වන කොටසක් එබඳු සම්මේලනයක් පැවැත් වීම අවශ්‍ය ලෙස සලකන්නේ නම් මහ ලේකම් විසින් එක්සත් ජාතීන්ගේ අනුග‍්‍රහය යටත් සම්මේලනයක් කැඳවිය යුතුය. එම සම්මේලනයට පැමිණ ඡන්දය දෙන රාජ්‍ය පාර්ශවකරුවන් අතුරින් වැඩි සංඛ්‍යාවක් විසින් පිළිගනු ලබන කවර හෝ සංශෝධනයක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතුය.
2. සංශෝධනයක්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ මෙම සංධානය අයත් රාජ්‍ය පාර්ශ්වකරුවන් අතරින් තුනෙන් දෙකක වැඩි ඡන්ද ඒ ඒ රාජ්‍යවල ව්‍යවස්ථාදායක පද්ධති අනුව ලබා පිළි ගැණුනු පසු බලාත්මක විය යුතුය.
3. එම සංශෝධන බලාත්මක වු කල්හි ඒවා පිළිගනු ලැබු රාජ්‍ය පාර්ශවකරුවන් ඒවායින් බැඳී සිටිය යුතුය. අනිකුත් රාජ්‍ය පාර්ශවකරුවන් වත්මන් සංධානයේ විධිවිධානවලින් හා එම රාජ්‍යයන් විසින් කලින් පිළිගනු ලැබු කවර හෝ සංශෝධනවලින් එවකටත් බැඳී සිටිය යුතුය.

52 වන වගන්තිය
48 වැනි වගන්තිය 5 වන ෙඡ්දය යටතේ කරනු ලැබු දැනුම්දීම් කෙසේ වෙතත් එ් නොතකා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් එම වගන්තියේ 1 වන ඡේදයෙහි සඳහන් සියලූම රාජ්‍යයන් වෙත මෙහි පහත දැක්වෙන විස්තර දැන්විය යුතුය,
(අ) 48 වන වගන්තියේ යටත් වන අත්සන් කිරීම් , ස්ථිර කිරීම හා ඇතුළත් කිරීම් (ආ) 49 වන වගන්තිය යටතේ වත්මන් සංධාන බලාත්මක වන දිනය සහ 51 වන වගන්තිය යටතේ කිසියම් සංශෝධනයක් බලාත්මක වන දිනය.

53 වන වගන්තිය
1. චීන,ඉංග‍්‍රීසි, ප‍්‍රංශ, රුසියන්, හා ස්පාඤ්ඤ පිටපත් ද එක සමානව නිවැරදි වන මෙම සම්මුතිය එක්සත් ජාතීන්ගේ ලේඛනාගාරයෙහි තැන්පත් කළ යුතුය.
2. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ මහ ලේකම් විසින් සම්මුතියේ 48 වන වගන්තියෙහි සඳහන් වන සියලූම රාජ්‍යයන් වෙත මෙම සම්මුතියෙහි සහතික කළ පිටපත් යැවිය හැකිය.

No comments: